දරුවන්ගේ පාසල් ගමන නැවත ආරම්භ කිරීමේ අභියෝගාත්මක තීරණය ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත කෘතවේදීත්වය පළ කරන බව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.
අධ්‍යාපන අමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් සහ මිරිසවැටිය රජමහාවිහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී පඤ්ඤානන්ද හිමියෝ මේ අදහස් පළ කළහ.
මේ වනවිට මෙරට ආර්ථිකය තුළ පවත්නා තත්ත්වය හා ජිනීවා මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ද ස්වාමීන්වහන්සේලා මෙහි දී දීර්ඝ වශයෙන් අදහස් දැක්වූහ.
රටක් වශයෙන් ඒකාත්මිත ව පෙනී සිටිය යුතු මෙවන් මොහොතක රට තුළ ම ජන විඥානය වෙනත් අන්තයන්ට යොමු කරමින් වෛරය, ක්‍රෝධය සමාජය තුළ වපුරන්නට ඇතැම් පටු දේශපාලන මතධාරීන් දරන උත්සාහය නින්දිත බව ද, රට නගාසිටුවීමට හැකි බවට විශ්වාසය තබා පත්කරගත් ජනාධිපතිවරයාට ඒ සඳහා ශක්තියක් ලබා දෙනු වෙනුවට එතුමන් විවේචනය කරන්නට ඇතැම් සංවිධානාත්මක පාර්ශවකරුවන් විසින් දරන උත්සාහය පිළිකුල්සහගත බව ද මෙහි දී ස්වාමීන්වහන්සේලා පෙන්වා දුන්හ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයෙහි ආරක්ෂක ලේකම්වරයා ව සිටියදීම කොළඹ හරිත නගරයක් බවට ප්‍රතිනිර්මාණය කළ වත්මන් ජනාධිපතිවරයා කැලෑ කපන්නන්ට සහාය වන බවට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීම අයුක්තිසහගත බවත්, කැලෑ කපන බවට කෑ මොර දෙන කිසිවෙකුත් රට වෙනුවෙන් එක් ගසක් හෝ සිටුවන්නට වෑයම් කරන අය නොවන බවත් පෙන්වා දුන් අතිපූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක හිමියෝ ගම්නියම්ගම්වල සැරිසරමින් ගැමි ජනතාවගේ ගැටළු විසඳන්නට වෙහෙසෙන්නට සිදුව ඇත්තේ අදාළ නිලධාරීන් නිසියාකාරව ජනතා මෙහෙවරෙහි නිරත නොවීම නිසා බව ද සඳහන් කළහ.