පසුගිය පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරය ගැන අදහස් දැක්වූ ඩුබායි රටේ සේවය කරන ශ්‍රීලාංකිකයන් තිදෙනා සම්බන්ධව නඩු පවරා ඇති නිසා කඩිනමින් ඒ සම්බන්ධයෙන් මැදිහත්ව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.
ඇඹිලිපිටියේදී ඊයේ ( 15)දා මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් උන්වහන්සේ මේ ඉල්ලීම කළහ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ,
‘පාස්කු ඉරිදා ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් යම් යම් කරුණු දැක්වූ බවට ඩුබායි හි ආරක්ෂක අංශවල සේවය කරන ලාංකික තරුණයින් තිදෙනෙකුට එරෙහිව නඩු පවරා ලබන 22දා එහි තීන්දුව ප්‍රකාශ කිරිමට නියමිත බව මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබුණා.
කිතුණුවන්ට පමණක් එරෙහි ප්‍රහාරයක් ලෙස නොව සාමකාමී ජනතාවකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසටයි ලෝකයේ සාමය අගයන මධ්‍යස්ථ ජන කොටස් මේ ප්‍රහාරය දැක්කේ. මේ තරුණයන් තුන්දෙනා සංවේදීවීම ඇත්ත වශයෙන්ම සාධාරණයි. ලංකාවේ සියලූම දෙනා මේ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දැක්කා.
එසේ හෙළා දැක්කේ මුස්ලිම් ආගමවත්, මුස්ලිම් ජනවර්ගයවත් නෙවෙයි මුස්ලිම් ආගමේ නමින් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය. ත්රස්තවාදයට එරෙහිවයි අපි සංවේදී වුණේ. මේ තරුණයන් තුන්දෙනාත් ත්රස්තවාදයට එරෙහි සංවේදීවීම පුදුමයක් නෙවෙයි. ඒ සංවේදීවිම ඉස්ලාම් ආගමට එරෙහිවයි කියලා අදහසක් තියනවා නම් ඒක සාවද්‍යයි කියන එකයි අපේ අදහස.
නඩු තීන්දුව මොකක් වෙයිද කියලා කියන්න බෑ. නමුත් ඊටත් කලින් ශ්‍රීලාංකීය රජය වශයෙන් මේ ගැන තොරතුරු හොයලා බලන්න යුතුකමක් තියනවා. ඩුබායි හි තියන ශ්‍රීලංකා තානාපති කාර්යාලය මේ වනවිට මේ තරුණයන් වෙනුවෙන් ඉදිරිපත්ව ඇතැයි කියලා මම හිතනවා.
ඩුබායි හි ආරක්ෂක අංශයේ සේවය කරන මේ තරුණයින් තුන්දෙනා සත්‍ය වශයෙන් ලංකාවේ දුප්පත් පවුල්වල අය වෙන්න ඕනෑ. ඒ අය දරු පවුල් නඩත්තු කරනවාට අමතරව මේ රටට විදේශ විනිමය එවන අය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවා සිටිමට උරදෙන මේ තරුණයන් වෙනුවෙන් ශ්‍රීලංකා රජය පෙනී සිටිය යුතුයි. ඒ නිසා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්, ඩුබායි රටේ තානාපති කාර්යාල සේවයෙන් අපි ඉල්ලා සිටිනවා මේ තරුණයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරිමට පෙනී සිටින්න කියලා. තමන්ගේ රටේ සිදුවුණ ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් සංවේදීවීම සාමාන්‍ය දෙයක්. ඇමරිකාවට අල්කයිඩා ත්‍රස්තයින් එල්ල කළ ප්‍රහාරය, අයිඑස්අයිඑස් ත්රස්තයන්ගේ ප්‍රහාර හමුවේ ක්‍රිස්තියානි අයත්, මුස්ලිම් අයත් ඇතුලූව ලෝකයම ඒ ත්‍රස්තවාදය හෙළා දැක්කා. ඒ නිසා එවන් ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් සංවේදීවීම මේ තරුණයන් කළ වරදක් වන්නේ නැහැ. ඒ නිසා මේ තරුණයන්ගේ ජීවිතවලට කරදරයක් නොවන ආකාරයෙන් කටයුතු කරන්නට ඉදිරිපත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා “ සෝභිත හිමියෝ පැවසූහ.