විදුලි බිල අධික ලෙස ඉහළ දැමූ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී පවුල් හාරලක්ෂ තිස්හයදහසක් විදුලි භාවිතයෙන් ඉවත් වී තිබෙන බව මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි.
රට තුළ විදුලි පාරිභෝගික පවුල් ලක්ෂ හැටක් පමණ සිටින බවත්, එම පිරිසෙන් පවුල් 436,000ක් මේ වසරේ පෙබරවාරි මාසය වනවිට එක විදුලි ඒකකයක්වත් භාවිත නොකරන බවත් එම කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
මීට අමතරව ඒකක 90ට වැඩියෙන් විදුලිය භාවිත කළ ලක්ෂ හයක පමණ ප්‍රමාණයක් ඒකක 60ට අඩු වෙන් භාවිත කරන කාණ්ඩයට වැටී තිබෙන බවත්, පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී අවස්ථා දෙකකදී අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ ගොස් තිබෙන අතර, ඊට සාපේක්ෂව මේ වනවිට බලශක්ති දරිද්‍රතාව ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
ජූලි 01වැනිදා සිට ක්‍රියාත්මක වන නව විදුලි ගාස්තුව ලබන මස 30වැනිදා ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන විදුලි ගාස්තු යෝජනාව මහජනතාවට දැනගැනීම සඳහා ලබන මස 01වැනිදා ප්‍රසිද්ධියට පත් කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන 3%කින් විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවට හා මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කරන විකල්ප යොජනාව සඳහා ලබන මස 01වැනිදා සිට 20වැනිදා දක්වා කාලය තුළදී මහජන අදහස් ලබාගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ගල් අඟුරු හා ඉන්ධන මිල අඩුවීම හා ඩොලරයට සාපේක්ෂව රුපියල් ශක්තිමත් වීම යන කාරණා නිසා විදුලි ගාස්තුව 27%කින් පමණ අඩු විය යුතුව තිබෙන බවත්, පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකළ අසාධාරණ විදුලි බිල ඉහළ දැමීම නිසා අසාධාරණයට ලක් වූ ඒකක 120ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන විදුලි පාරිභෝගික ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතු බවත් සභාපතිවරයා පවසා සිටියේය.
අද (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
"මම සභාපති තනතුරින් ඉවත් කිරීමේ යෝජනවා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මහජන උපයෝගිතා කොමිෂම කියන්නේ ජනතාවට සේවය කරන ආයතනයක් එක නිසා ජනක රත්නායක කියන පුද්ගලයා අමතක කරලා ජනතාවට සේවය කරන ස්වාධීන ආයතන ගැන හිතලා මහජන නියෝජිතයන් 225කට කටයුතු කරයි කියලා මම හිතනවා.
පක්ෂද විපක්ෂද කියන එක නොවෙයි ප්රශ්නය තියෙන්නේ, මේක ජනාධිපතිට පක්ෂද එහෙම නැත්නම් අත්තනෝමතිකව කටයුතු කරන ඇමතිට පක්ෂද කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ, හරි කවුද වැරදි කවුද සත්‍යය මෙකක්ද අසත්‍ය මෙකක්ද කියන ප්‍රශ්නයක් මේක දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි මම දේශපානය කරන පුද්ගලයෙකු නොවෙයි. මේ නිසා 225ක් වන සියලුම මන්ත්‍රීවරුන් තමන්ට රට පිළිබඳ කැක්කුමක් රට පිළිබඳ ආදරයක් තමන් පත් කරලා එවපු මහජනතාව වෙනුවෙන් කැක්කුමක් තියෙනවා නම්, සියලුම දෙනා සිතට එකඟව මේ දුර්දාන්ත විදිහට දේශපාලන උවමනාවන්ව වෙනුවෙන් ගේන මේ යෝජනාව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි.
මේක ජනක රත්නායක තියාගන්නවද කියන ප්රශ්නය නොවෙයි. ස්වාධීන කොමිසමක අනාගතය රටේ අනාගතය තීරණය කරන සාධකයක්. මේ නිසා සියලුම මන්ත්‍රීවරුන් මහජනතාව වෙනුවෙන් සහාය දිය යුතුයි.
පසුගිය මැතිවරණවලදී අපි දැක්කා මහජන නියෝජිතයන්ට විරුද්ධව මහජනතාව ඡන්දය භාවිත කරන ආකාරය මේ නිසා මහජන නියෝජතයන්ට අවස්ථාවක් හිමි වෙනවා තමන්ගේ හිතට එකඟව කටයුතු කරන්න.
මම හැම වෙලාවෙම පෙනීසිටින්නේ, ජනතාව වෙනුවෙන්. එක නිසා මම හිතන්නේ නැහැ මන්ත්‍රීවරුන් එකතුවෙල ඉවත් කරයි කියලා. බැරි වෙලාවත් මාව අද ඉවත් කළොත් මම කිසිම දේශපාලන කඳවුරකට යන්නේ නෑ. මට තියෙනවා මගේම දේශපාලන මතයක් දේශපාලනය නොකර රට වෙනස් කරන්න බෑ. දේශපාන ප්රවාහයට එකතු වෙන්න ඕන.
රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කරන්න පුළුවන් හැමදේම කළා. එත් රාජ්‍ය නිලධාරියාට අවස්ථාව දෙන්නේ නෑ. ඊළඟ අවස්ථාව රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා හොඳ පුද්ගලයන් අවශ්‍යයි ඒකට අවශ්‍ය සහයෝගය කැප කිරීම කරන්න ලැස්තියි."