පල්ලේබැද්ද, ගිරාඳුර ප්රදේශයේ රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන පාර අයිනේ නිවසක ජීවත්වූ ව්යාපාරික අඹුසැමි යුවළක් ඊයේ (11දා) රාත්රී ඝාතනය කර ඇතිබව ගොඩකවෙල පොලීසිය පැවසුවේය.
මෙසේ ඝාතනය කර ඇත්තේ මග්ගෝනගේ දයානන්ද (78) සහ රඹුක්කනගේ හේමලතා (67) යන දෙදෙනාය. ඔවුන් තිදරු මව්පියන්ය. දයානන්ද මහතා ශ්රීලංකා මහවැලි අධිකාරියේ සේවය කර විශ්රාම ලැබූවෙකි. වර්තමානයේ වෙළඳාම් නිරතව සිටි බව පොලීසිය කීවේය.
ඝාතනයට ලක්වු අඹුසැමි යුවළ සිය පුතුගේ නිවසට මීටර් පනහක් පමණ දුරින් නිවසක ජීවත්ව සිටි අය බව ද පොලීසිය පැවසුවේය. ඔවුන් දෙදෙනා සතිපොළවල්වලට ගොස් වෙළඳාම් කරන අය බව ද පොලීසිය පවසයි. මියගිය අඹුසැමි යුවළගේ පුතා 12දා උදෑසන මව්පියන් දෙදෙනා පොළේ යන්නේදැයි බැලීමට මව්පියන්ගේ නිවසට පැමිණි අවස්ථාවේ අපරාධය දැක පොලීසියට දන්වා තිබේ. පියාගේ සිරුර නිවසේ නිදන කාමරයක ඇඳ අසල බිමත්, මවගේ සිරුර නිවසින් පිටත් තිබී ඇත.
සිරුරුවලින් අධික ලෙස රුධිරය වහනය වී තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබිණි. මරණය කෙසේ වූවාදැයි දැන ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි. නිවස තුල අල්මාරියක ලාච්චු විවෘතකර ඇති බව ද පොලීසිය කියයි. කිසිවෙකු හෝ කිහිප දෙනෙක් මුදල් හෝ දේපල කොල්ලකෑමේ අරමුණින් නිවසට ඇතුලු වී මේ අපරාධය කළේ දැයි පොලීසිය සැකකරයි.
නිවස ආසන්නයේ රාත්රී විවෘතව ඇති අවන්හලක් ඇතත් එහි කිසිවෙකුට හෝ කිසිදු ශබ්දයක් ඇසී නැති බව ද පොලීසිය පැවසුවේය. ගොඩකවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අජිතලාල් ශාන්ත උදය/ කොලොන්න නානායක්කාර
