පොලිසියට ලද තොරතුරකට අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ භූමියේ රථ ගාල තුළදී හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක සහ තවත් පිරිමි පුද්ගලයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බන්ධනාගාර නියාමකවරුන් පිරිසකගේ සම්බන්ධතාවය ඇතුව බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් මත්කුඩු ජාවාරමක සුලමුල හෙළිව තිබේ.
පල්ලෙකැලේ බන්ධනාගාරයේ සිට නඩු කටයුතු සඳහා මහනුවර අධිකරණයට රැගෙන එන රැඳවියන් එම නඩු කටයුතු වලින් අනතුරුව නැවත බන්ධනාගාරයට රැගෙන යාමේදී බන්ධනාගාර නියාමකවරුන් ගේද අනුදැනුම ඇතිව හෙරොයින් මත්කුඩු ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය එම රැඳවියන් මාර්ගයෙන් බන්ධනාගාරය තුළට රැගෙන යාමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව අධිකරණයට කරුණු වාර්තා කොට පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
ඒ අනුව අධිකරණ සංකීර්ණයේ බන්ධනාගාර රථ ගාල් කරන රථගාලේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5ක් සමග කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5ක් ශරීරයේ සඟවාගෙන පල්ලෙකැලේ බන්ධනාගාරයේ රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමට සූදානම්ව බස් රථ ගාලේ රැඳී සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම බන්ධනාගාර නියාමකවරයාට හෂීස් නැමැති මත් කුඩු තොගයක් සහ ජංගම දුරකථනයක් ද ලබාදීමට උත්සාහ කළ මහනුවර ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ බිරිඳක් ද එහිදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ . එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ද තිබී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
ඔවුන් දෙදෙනාද රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී පල්ලෙකැලේ බන්ධනාගාරය කේන්ද්‍රකරගනිමින් සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුල මුල මේ වන විට හෙළි වෙමින් තිබෙන අතර ඔවුන්ගෙන් ලද තොරතුරු වලට අනුව පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ රාජකාරියේ නිරතව සිටින බන්ධනාගාර නියාමකවරුන් පිරිසකගේ ද වතගොත මේ වන විට හෙලි වෙමින් තිබෙන බවද පොලිසිය කියයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .