“ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව. ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන්. රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළා. දැන් මේ භෝග රට තුළ වගා කිරීම පටන් අරන්. ඉන් ලැබෙන ආදායම යන්නේ අපේ ගොවීනට : අපේ ගමට” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
කලින් රුපියල් 32ක් වූ වී කිලෝවකට ගෙවන මිල රුපියල් 50ට වැඩි කිරීමෙන් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායම ද ඉහළ ගිය බව එතුමා සඳහන් කරයි. වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවට ද හිමි වී ඇති බවත් මානව හිමිකම් ගැන කථා කරන පිරිස් මේ නිසා ජනතාවට ලැබී ඇති ප්රතිලාභ ගැන කිසිවක් නොකියන බවත් ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
ජනාධිපති රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (18දා) සවස ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සෑම දිස්ත්‍රික්කයකින්ම කාන්තා ක්‍රියාකාරිණිහූ සහ ප්‍රාදේශීය සභා මන්ත්රීනීහූ හමුවට එක්ව සිටියහ.
තමාගෙත්, තම රජයේත් ජයග්‍රහණය උදෙසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයෙන් ලැබුණු දායකත්වය අගයමින් අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපතිවරයා රජයේ ප්‍රගතිය මැන බැලීමේදී, රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්රතිලාභ සලකා බලන්නැයි ඉල්ලීමක් කළේය.
“කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථික සංවර්ධනයේ ප්රතිලාභ සියලු ජනතාව අතර බෙදී යනවා. එමගින් නිෂ්පාදකයාට සේම පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුකරන්න පිළිවන්. අපි බලයට පැමිණීමෙන් පසු විශාල වැඩකොටසක් කළා. උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කිරීමෙන් රජයේ සේවකයන්ගේ ආදායම ඉහළ ගියා. මේ ප්‍රගතිය නොදකින පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටිනවා” ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය. පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර තිබේ. පරිසර සංරක්ෂණයට එය විශාල පිටිවහලක් වනු නිසැකය. කටු පොල් වගාව නතර කිරීමෙන් දිස්ත්‍රික්ක ගණනාවක සිදු වෙමින් තිබූ පරිසර හානියට තිත තැබිණි. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
රජය බලයට පැමිණීමෙන් පසු ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව පෙන්වා දුන් ජනනපතිවරයා රටට සතුරු බලවේග මේ සත්‍යය යටපත් කිරීමට බොරු ගොතා ප්‍රචාරය කරන බව කීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තිස් අවුරුදු යුද්ධය අවසන් කොට පෙර නොවූ විරු ආර්ථික සංවර්ධනයක් ඇති කළේය. එහෙත් විරුද්ධවාදීන් ගෙන ගිය අසත්‍ය ප්රචාරයෙන් මුලා වූ ජනයා 2015 දී එතුමා පරාජය කළහ. ඉන්පසු සිදුවූයේ දැවැන්ත විනාශයකි. ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. ආර්ථිකය ද කඩා වැටිණ. රටේ ස්වාධීනත්වය පාවා දෙනු ලැබීය. දැන් නැවත වරක් අපි රට එදා තිබුණු තත්ත්වයට පත් කිරීමට වැඩකරමින් සිටින්නෙමු යයි ජනාධිපතිතුමා සඳහන් කළේය.
තමාගේ අවංක උත්සාහය රට ගොඩනැගීමෙන් ජනතාවට සමෘද්ධිය අත්කරදීම බව කී ජනාධිපති රාජපක්ෂ මහතා ඒ අරමුණ දිනාගැනීම සඳහා එක්ව වැඩකරමුයයි පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියනට පැවසීය.
අද හමුවට සහභාගී වූ කාන්තා නියෝජිතවරියෝ පොදුවේ සමාජයටත්, තමන් අයත් දිස්ත්‍රික්කවලටත් අදාළ ප්‍රශ්න ගණනාවක් ජනාධිපතිතුමා හමුවේ විස්තර කළහ. ස්වයං රැකියා මාර්ග උදා කිරීම, බැංකු ණය ලබා ගැනීමේ අපහසුව, ක්ෂුද්‍ර ණය ගැටළුව, ගම්බද නිවාස ප්රශ්නය, ජීවන වියදම, මත්ද්‍රව්‍ය උවදුර, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න ඒ අතර විය. මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් උවදුර මුලිමනින් තුරන් කිරීමට යම් කලක් ගතවනු ඇති බවත් ජනාධිපතිතුමා කීය.
