පරිපූරක වෛද්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු කිහිපයකට විසඳුම් ලබාගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සම සෞඛ්‍ය ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුමිකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහි දී පරිපූරක වෛද්‍ය සේවාවේ ඖෂධවේදීන්, විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්, භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක ආදී වෘත්තීන් සදහා සේවා ව්‍යවස්ථාවන් සැකසීම සඳහා මූලික කමිටුවක් පත්කරගැනීම, සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සුදුසු වැටුප් තලයක් ලබා ගැනීම සඳහා කටයුතු ආරම්භ කිරීම, විශේෂ ශ්‍රේණි උසස්වීම් ප්‍රමාදය ඉවත් කිරීම, උපාධිධාරී ලෙස වෙනස් වූ බඳවා ගැනීමේ මූලික සුදුසුකම ආපසු හැරවීමේ ගැටළුව,
පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ දී විෂයානුබද්ධ කොටස සම්පූර්ණ කරන ලද හා වසර ගණනාවක් තෙවන කාර්යක්ෂමතා කඩයිම් විභාගය ප්‍රමාද වීම හරහා අසාධාරණයට ලක්ව වැටුප් වර්ධක අහිමිව හා ශ්‍රේණි උසස්වීම් ප්‍රමාද වූ කණ්ඩායම් කිහිපය තෙවන කාරයක්ෂමතා කඩයිමෙන් නිදහස් කිරීම, ඖෂධවේදීන්ගේ රැකියාව පවා අවධානමට ලක්ව ඇති ශීතදාම ආරක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ හා පහසුකම් හා ගබඩාකරණ තත්ත්ව නියාමනය, ඇමතුම් රාජකාරී දීමනාව යාවත්කාලීන කිරීම.
නව ගණනය කිරීමට අදාළව අතිකාල දීමනා විෂමතා ගැටළුව, වැඩි වූ අතිකාල දීමනා වලට සාපේක්ෂව පරීක්ෂණ දීමනාව යාවත්කාලීන කිරීම, පරිපාලන සේවා විභාගය සදහා පෙනී සිටීමට සම සෞඛ්‍ය උපාධිධාරීන්ට අවස්ථාව ලබාදීම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡාවක් කඩිනමින් ලබා ගැනීම හා බඳවා ගැනීම් ආදී වශයෙන් වු කරුණු කරුණු 09 ක් පිළිබඳව දීර්ඝ ව සාකච්ඡා කෙරිණි.
ඉහත ගැටළු පිළිබඳව සිය අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පරිපූරක වෛද්‍ය සේවාවන් සදහා සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සදහා කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය කරන ලද අතර, එම කමිටුව සදහා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පාලන (iii), අධ්යක්ෂ පාලන (ii), අධ්යක්ෂ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ, පරිපූරක වෛද්‍ය ක්ෂේත්රය නියෝජනය කරමින් සාමාජිකයන් 5 ක් ද මෙහිදී යෝජනා විය.
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සුදුසු වැටුප් තලයක් ලබාගැනීම සදහා කටයුතු ආරම්භ කිරීමට ආයතන අධ්යක්ෂ සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද මැදිහත්වීම සහිතව මූලික සාකච්ඡා ආරම්භ කිරීමට මෙහි දී තීරණය වු අතර, උපාධිධාරී ලෙස වෙනස් වූ බඳවා ගැනීමේ මූලික සුදුසුකම නොවෙනස්ව පවත්වා ගනිමින් කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කරන ලදි.
ඖෂධ ශීතදාම ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය උපකරණ හා පහසුකම් වැඩි දියුණු කිරීමට හා ගබඩා පහසුකම් සංවර්ධනයට අරමුදලක් හරහා ඉදිරියේ දී අවශ්‍ය කටයුතු කිරීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණි අතර, වැඩි වූ අතිකාල දීමනා ගණනය කිරීමේ ගැටළුව නිරාකරණයට කටයුතු සිදු කර ඇති බවට ද සම සෞඛ්‍ය ඒකාබද්ධ බලමණ්ඩලයේ සමකැදවුම් කරුවන් ව මෙහිදී දැනුවත් කරන ලදී.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡාව කඩිනම් කිරීමට හා සීමාවාසික පුහුණුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබාදී ම පිළිබදව අග්‍රාමාත්‍ය තුමිය සමග සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෞද්ගලිකව සාකච්ඡා කිරීමට ද මෙහිදී එකඟ වු අතර, විශේෂ ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීම යටතේ සැප්තැම්බර් මස නැවත අයදුම්පත් කැදවීමට අවශ්‍ය කටයුතු කිරීමට එකඟත්වය ලබාදුණි. ඉහත කරැණු වලට අමතරව තවත් වෘත්තීය කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.