ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බවත් ඔවුන් පීඩාවට පත්ව සිටියත් ආණ්ඩුවේ කිසිවෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැති බවත් ඒ මහතා පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් ඊයේ (28) කොළඹ විපක්ෂ නායකයක කාර්යාලයට පැමිණි අතර එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
ඇස් බැන්දුම් චක්‍රලේඛන හරහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂ නායකවරයා ජනතාව ජීවිතය සහ මරණය අතර අර්බුදයක සිටින බවද පැවසීය.
දේශපාලකයින්ට, කෝටිපතියන්ට, වංචාකාරයින්ට නැති පරාටේ නීතිය රටේ ආර්ථික එන්ජිම හසුරුවන ජනතාවට එල්ල වී ඇති බව කී විපක්ෂ නායකවරයා මධ්‍යස්ථ සමාජ ප්රජාතන්ත්රවාදී සමාජ වෙළඳපොල රටේ ක්‍රියාත්මක විය යුතු බවත්, අන්ත ලිබරල්වාදය මේ වනවිට ලෝකයෙන්ම ප්රතිකේෂේප වන බවත් පැවසීය.