ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් සහතික ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට අධි වේගි සේවාවක් Fast Track System කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි.
දැනට උදය කාලයේ නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිරිපිට පවතින වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන පිරිස දිගු පෝලිමක් වශයෙන් දක්නට ලැබේ.
මෙම තත්ත්වය සෙසු ප්‍රදේශවල පිහිටි කාර්යාලවල ද දක්නට ලැබෙන බැවින් ඊට පිළියමක් ලෙස අධිවේගී සේවාවක් Fast Track system ස්ථාපිත කිරීමට අදාල කාරණා සම්බන්ධයෙන් සොයා බලන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනයේ ඉහළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් රියදුරන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර සහතිකපත් නිකුත් කිරීම මගින් 2019 වසරේ රු. මි. 200ක ආදායමක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.
2019 වසරේ දී එම ආයතනය විසින් ලබා ඇති සමස්ත ආදායම රු.මි. 712කි. වැය කර ඇති මුදල රු. මි. 411ක් වන අතර 2019 වසරේ දී එම ආයතනය විසින් උපයා ඇති ලාභය රු. මි. 300කි.
දිනකට මෙම ආයතනය වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා නුගේගොඩ පිහිටි කාර්යාලයට පැමිණෙන පිරිස 800ක් පමණ වන අතර එම පිරිසට ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
අද දින (26) පෙරවරුවේ නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ගිය අමාත්‍යවරයා එම ආයතනය විසින් මහජනතාවට ලබා දෙන සේවාවන් පිලිබඳව එහි නිලධාරින් සමග සාකච්ඡා කළේය.