09 වැනි පාර්ලිමේන්තුව සඳහා 11%ක ප්‍රතිශතාත්මක නියෝජනයක් තරුණ මන්ත්‍රීවරැන් විසින් නියෝජනය කරනු ලබන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව 'අද'ට ප්‍රකාශ කළේය.
ඒ අනුව වයස අවුරුදු 25-40 අතර මන්ත්‍රීවරුන් 25 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව සඳහා මහජන ඡන්දයෙන් තේරී පත්ව ඇති අතර, ඉන් තරුණ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු වයස අවුරුදු 25-30 අතර වයස් කාණ්ඩයට අයත්ව සිටී.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර වයස අවුරුදු 31-40 දක්වා වයස් කාණ්ඩය නියෝජනය කරන්නන් ගණන 21ක් වන අතර, ඉන් 09 දෙනෙකු ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් වෙයි. එම වයස් කාණ්ඩයේ සිටින , වාර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කර, මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙරට පත්වූ ළාබාලතම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාද වෙයි.
මෙවර මහජන ඡන්දයෙන් තේරී පත්වූ ළාබලතම මන්ත්‍රීවරයා මෙන්ම අමාත්‍යවරයා ලෙස වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරවේල් තොණ්ඩමන් මහතා පත්ව තිබේ. 1994 නොවැම්බර් 09 වැනි දින උපන් ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්වරයාද වේ. මීට පෙර පාර්ලිමේන්තු ඉතිහාසයෙහි නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලත් ළාබාලතම මන්ත්‍රීවරයාගේ වාර්තාවට හිමිකම් කියනුයේ දුමින්ද දිසානායක මහතා වන අතර, එම ධුරය ලබන විට ඔහුගේ වයසද අවුරුදු 25ක්ව තිබිණි.
වයස අවුරුදු 25-30 කාණ්ඩයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 04 දෙනා අතරින් එක් අයෙකු වන, මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සානක්‍ය රාහුල් මහතාට වයස අවුරුදු 30කි. එසේම මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන 30 වියැති නිපුණ රණවක සහ මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින වෛද්‍ය ගයාෂාන් නවනන්ද යන මහත්වරු අනෙක් තරුණ මන්ත්‍රීවරු දෙපොළ වෙති. මෙම කාණ්ඩයට අයත් සියලු තරුණ මන්ත්‍රීවරුන් උපාධිධරයන් වීමද විශේෂත්වයකි.
මීට අමතරව වයස අවුරුදු 41-50 දක්වා වයස් කාණ්ඩයේ මන්ත්‍රීවරුන් 67 දෙනෙකු මෙවර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව වයස අවුරුදු 41-50 වයස් කාණ්ඩයෙන් මහජන ඡන්දයෙන් නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරයන් සංඛ්‍යාව 67ක් වන අතර, ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පැමිණෙන කාන්තා මන්ත්‍රීවරියන් දෙපොළක් වන ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන කෝකිලා හර්ෂණී ගුණවර්ධන සහ කෑගල්ල නියෝජනය කරනු ලබන රාජිකා වික්‍රමසිංහ යන මහත්මීන් සිටිනුයේද මෙම කාණ්ඩය ඇතුළතය.
මෙහිදී වයස අවු. 51-60 කාණ්ඩය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 54ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගනී. සමගි ජන බලවේගය පක්ෂයෙන් යළිත් පාර්ලිමේන්තු වරම් ලද, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පක්ෂ නායක අනුර කුමාර දිසානායක, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් මෙම කාණ්ඩයට අයත් විවිධ දේශපාලන පක්ෂවල ප්රමුඛ පෙළේ තනතුරු දරන අතර, දීර්ඝකාලීන පාර්ලිමේන්තු පරිචයක් සහිත මන්ත්‍රීවරුන්ය.
අභිනව පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 61-70 වයස් කාණ්ඩය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 37කි. 69 වියැති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම කාණ්ඩය නියෝජනය කරන දීර්ඝකාලීන අත්දැකීම්වලින් හෙබි පරිණත දේශපාලකයෙකු ලෙස හඳුන්වා දිය හැකිය.
මීට අමතරව වයස අවුරුදු 71-80 තෙක් වයස් කණ්ඩායම නියෝජනය කරන පරිණත මන්ත්‍රීවරුන් 09 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවේ කටයුතු කරයි. ඔවුන් අතර වත්මන් අග්‍රාමාත්‍ය හා මුදල්, බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද, වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද සිටී.
එසේම වයස අවුරුදු 81-90 දක්වා වයස් කාණ්ඩයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර සී. වී. විග්නේෂ්වරන්, රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ආර්. සම්පන්දන් යන මහත්වරුන්ද වෙයි.
කෙසේ වුවද රටේ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කෙරෙන ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ තරුණ නියෝජනයක් දක්නට ලැබීම සෞඛ්‍ය සම්පන්න ප්රජාතන්ත්රවාදී අවකාශය පුළුල්කරණයකට ඉවහල් වන බවත්, ඒ අනුව ඒ සඳහා සාධනීය බලාපොරොත්තුවක් පාර්ලිමේන්තුව මගින් මල්පල ගැන්වී ඇති බවත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරත් සඳහන් කර සිටියේය. පාර්ලිමේන්තුව හෙට (20දා) ආරම්භ වීමට නියමිතව පවතී.