කොළඹ, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව micro-scale plastic ඝනයට අයත් වන නැනෝ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වී තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේ දී බරපතල සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය ඒ. පිටවල මහතා පවසයි.
මිනිස් ශරීරයට දැඩි අහිතකර නැනෝ පරිමාණයේ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් නගරාශ්‍රිත වායු ගෝලයේ ව්‍යාප්ත වී ඇතැයි අද (07දා) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී මෙම මස 09 හා 10 දෙදින තුළදී පැවැත්වීමට නියමිත පරිසර හා සංඛ්‍යාන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් වෙනස්වන පරිසර සාධක මත නැනෝ ප්‍රමාණයේ ප්ලාස්ටික් අංශු සකස්වීම ඉතා සීඝ්රයෙන් සිදුවන බව කී ඒ මහතා නගරයේ දූවිලි සහිත ස්ථාන, ජල මාර්ග සහ අවසාදිත පාංශුවල විශාල වශයෙන් මෙම ප්ලාස්ටික් නිරීක්ෂණය වූ බවද කීවේය.
පසුගිය වකවානුවේදී ඇස්බැස්ටෝස් තහනම් කරන ලද්දේ මිනිස් ශරීරයට හානිකර වීම හේතුවෙන් බවත් එහෙත් මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඊටත් වඩා අහිතකර යැයි ද ඔහු පැවැසීය.
සීඝ්‍ර නාගරීකරණයක් සහිත ප්‍රදේශවල හා නගරබදව අහිතකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නැනෝ ප්‍රමාණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිකුත්වන බවත් පොලිතීන්, ප්ලාස්ටික් ඇතුලු ඝන අපද්‍රව්‍ය ඊට බෙහෙවින් අහිතකර අයුරින් දායකවී ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ආශ්වාස කිරීම හරහා ආහාර මගින් ද නැනෝ ප්ලාස්ටික් මිනිස් ශරීරයට ඇතුලත් වන බවත් මෙම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් පියවර ගත යුතුව ඇතැයි මහාචාර්ය එ.පිටවල මහතා සදහන් කළේය.