ප්‍රාදේශීය මාධ්‍යවේදී අලුත්ගම තුසිත කුමාර සිල්වා මහතාට සහ ඔහුගේ බිරිය වන අනූෂා කුමාරි මහත්මියට පසුගිය (06දා) කිසියම් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (08දා) අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දක්වන ලදී
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද සහභාගි වූ අතර එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
"කළුතර දිස්ත්‍රික්කයට තර්ජනයක්ව පවතින කෘත්‍රිම රා නිෂ්පාදනාගාර සම්බන්ධයෙන් හෙළිදරව් කළ කළ මාධ්‍යවේදියාට පහරදීම අපි දැඩි ලෙස ඉතා පිළිකුල්ව හෙළාදකිනවා. කෘත්‍රිම රා නිෂ්පාදනකරුවන් පොලීසියෙන් අත්අඩංගුවට නොගන්නා අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට අරගත්තා.
පසුගිය ආණ්ඩුව කාලයේදී මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරම දිගින් දිගට ම පැවතුණා වගේම මෙම ආණ්ඩුව සමයේදීත් එය එලෙසම පැවතීම ඉතා කනගාටුදායක සිද්ධියක්. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ වැරදිකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසයි''
පාර කෑමට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර මහතා විට නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම විරෝධතාවට තුසිත කුමාර සිල්වා මහතාගේ මෑණියන් සහ සොහොයුරා ද එක් වූහ.
අළුත්ගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට සිකුරාදා (06) සවස කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය තුසිත කුමාර ද සිල්වාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබෙන අතර මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලීසිය පවසයි.
අළුත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයසේකර මහතාගෙන් ඊයේ (08දා) දහවල් මේ සම්බන්ධයෙන් විමසූ විට සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
සැකකරුවන් අලුත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් හැකි ඉක්මනින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
සිකුරාදා (06) සවස මැර පිරිස විසින් මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට පහර දී තිබේ. කිසියම් අවශ්‍යතාවක් සඳහා සිය බිරිය සමග යතුරුපැදියෙන් ගොස් ආපසු නිවසට පැමිණි අවස්ථාවේදී මැර පිරිස විසින් මෙම පහරදීම සිදුකර තිබෙන බව ඔහු විසින් පොලීසියට ප්‍රකාශ කර ඇත.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලන ලද අලුත්ගම කෘත්‍රිම රා නිශ්පාදනාගාරය සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්තිය පිළිබඳ විමසමින් මෙම පහරදීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මැර පිරිස විසින් තුසිත කුමාර ද සිල්වා මහතාට පළමුව බැණ තර්ජනය කර පසුව පහරදීම සිදුකර තිබෙන බවද අලුත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවද අලුත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අලුත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයසේකර ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල/ මතුගම - බන්දු තඹවිට ප්‍රේමතිලක පෙරමුණ /අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර