නුවරඑළිය පිදුරුතලාගල කඳු මුදුනට පිවිසීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරපතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට ලක්ව ඇතැයි නුවරඑළියට පැමිණෙන සංචාරකයෝ පවසති.
පිදුරුතලාගල කඳු මුදුන නැරඹීමට මීට ප්‍රථම ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයක් ලබා ගැනීම සිදු නොවුන බවත්, එහෙත් මෑතක සිට එම කඳු මුදුනට පිවිසීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයක් ලබා ගත යුතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
එම අවසරය ලබා ගැනීමට කොළඹ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ලබා ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවත්, දුරකථනයෙන් හෝ වෙනත් ආකාරයකින් එකී අවසරය ලබා ගැනීමට නොහැකිවීම නිසා නුවරඑළියට පැමිණෙන සංචාරකයන් පිදුරුතලාගල නැරඹීමට ගොස් ප්‍රධාන ගේට්ටුවෙන් හැරී ආපසු පැමිණෙන්නට සිදුව ඇති බවද එම පිරිස් පවසති.
නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගෙන් අතිබහුතර පිරිසක් මේ ආකාරයේ අවසරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීමක් නොමැතිකම හා අඩුම වශයෙන් එම අවසරය නුවරඑළියේ සිට ලබා ගැනීමට නොහැකිවීම නිසා පිදුරුතලාගල කඳු මුදුන හා ඒ අවට පිහිටි රක්ෂිතයේ සුන්දරත්වය නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ගෙන් ගිලිහී ගොස් ඇති බවද සංචාරකයෝ පවසති.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් දිනකට විශාල මුදලක්ද මේ වනවිට රජයට අහිමිව ගොස් ඇති බවත්, අවම වශයෙන් නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට නුවරඑළියේ සිට හෝ පිදුරුතලාගල කඳු මුදුනට පිවීසිමේ අවසර පත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් වගකියයුතු අංශවලින් සංචාරකයෝ ඉල්ලා සිටිති.
ඉකුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හේතුන් මත පිදුරුතලාගල කඳු මුදුනට සංචාරකයන්ට පිවිසීම අත්හිටුවා තිබු බවත් , පසුව යළි ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට පිදුරුතලාගල නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව සැලැසී තිබු බවද සංචාරකයෝ කියති.
මේ වනවිට යළිත් පිදුරුතලාගල නැරඹීට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා ගැනීමට සිදුව ඇති බවත්, රට තුළ ආරක්ෂාව තහවුරුව තිබියදී මෙවැනි තීරණයක් ගෙන තිබීම පිළිබඳව යළි සලකා බලන ලෙස වගකියයුතු අංශවලින් සංචාරකයෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
ශාන් හුලංනුගේ