පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝගස් මන්සන්ධියේ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා අද (27දා) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.
අද උදෑසන 7.30 ට පමණ මෙම පුපුරායාම සිදුව ඇති අතර පපිරීමෙන් කොස්තාපල්වරයාගේ පාදයට සුළු තුවාල සිදුව ඇත.
ටින් එකක් වැනි භාණ්ඩයක් තුල සූක්ෂම ලෙස පුපුරණද්‍රව්‍ය හෝ යොදා සකස්කළ පීඩන බෝම්බයක් වැනි යමක් නිලධාරීන් රාජකාරීකළ ස්ථානයේ පොළව මතුපිටට පෙනෙනෙ සේ වළලා තිබියදී මෙම පිපිරීම සිදුව ඇති බවට පොලීසිය විසින් අණාවරනය කොට ගෙන ඇත.
පිපිරීම සිදුවන අවස්ථාවේදී උපපොලිස් පරීක්ෂකවරයකු හා තුවාල ලැබූ කොස්තාපල්වරයා රාජකාරියේ සිට ඇති අතර එයින් උපපොලිස් පරීක්ෂකවරයාට තුවාල සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.
පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරීකළ පොලිස් කොස්තාපල් (90230) ඩබ්ලිව්.ඩබ්ලිව්.ටි.ඒ ප්‍රනාන්දු යන නිලධාරියා බව පොලීසිය පැවසීය.
පිපිරීම සිදුවූ පේදුරුතුඩුව , මරදන්කේණි මාර්ගයේ නිරන්තරයෙන් වැලි ජාවාරම් සිදුවන බැවින් එම ජාවාරම්වලට සම්බන්ධ පිරිසක් විසින් පොලිස් නිලධාරීන් බියවැද්දිම සඳහා මෙය සිදු කරන්නට ඇති බවට විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් සැක පලකරයි.
කෙසේ වෙතත් මේ වන විට පිපිරීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය හා පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පිපිරීම පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.