සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව ලබා දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්රදානය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට පිහිට වූ කමිටු වාර්තාව බාරදී තිබේ.
අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතාට හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වෙත මෙය ප්රදානය කර තිබේ.
වර්තමානයේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන ප්‍රධානම ගැටළු වන්නේ බන්ධනාගාර තුළ පවත්නා අධික තදබදයයි. බන්ධනාගාර තුළ පවතින මෙම ගැටළුව පිළිබඳව විශේෂ අවධානය යොමු කළ ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකිරීමටත් සිරකරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු වඩාත් විධිමත්ව සිදුකිරීමටත් නව රාජ්‍ය අමාත්‍යාංශයක් වශයෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පිහිටවන ලදී.
මෙම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමේදී ක්‍රියාත්මක කළ යුතු සුවිශේෂී ප්‍රමුඛතා කිහිපයක් හඳුනාගෙන තිබු අතර, මෙම සුවිශේෂී ප්‍රමුඛතා අතරින් ප්‍රධානතම ප්‍රමුඛතාවක් වනුයේ සිරකරුවන්ගේ තදබදය අවම කිරීම සඳහා පොදු සමාව දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්රදානය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමයි.
රැඳවියන්ට සමාව ප්රදානය කිරීමේ නව යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන අතර, මෙම නව යාන්ත්‍රණය සැකසීමට පත්කළ කමිටුව විසින් අවධානය යොමුකළ ප්‍රධාන කරුණු කිහිපයක් ඇත.
බන්ධනාගාර රැඳවියන් නිදහස් වීමේදී ඒ සම්බන්ධව රජය විවේචනයට ලක්නොවිය යුතු බව
සමාජ සුරක්ෂිතභාවයට බාධාවක් නොවිය යුතු බව
නීතිය ක්‍රියාත්මක කරන ආයතන අවතක්සේරුවට ලක්නොවිය යුතු බව
මෙම නව යාන්ත්‍රණය බන්ධනාගාර පරිපාලනයට රුකුලක් විය යුතු බව