නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ පතොක් මව් ශාක තොගයක් සහ ජීවී සුරතල් මත්ස්‍යයන් පිරිසක් රැගත් ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අද අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු අද දහවල් 11.00 තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ මෙම පතොක් මව් ශාක 202 ක් සහ " ෆයිටර් " වර්ගයේ ජීවී සුරතල් මත්ස්‍යයන් 06 දෙනෙකු සගවා ගෙන පැමිණ තිබූ අතර, ඒවායේ මුළු වටිනාකම රුපියල් 117,000 ක් බව රේගු නිලධාරීන් ප්‍රකාශ කරයි.
මොහු මෙම ගමන් මලු ද රැගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ සහ ශාක සහ සත්ව නීරෝධායන පනත යටතේ මෙන්ම මෙම ආනයනය පිළිබඳව රේගු නිලධාරීන් දැනුවත් නොකර සිටීම නීතිවිරෝධී කටයුතු බව රේගු නිලධාරීන් අවධාරණය කරති.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ඩී. අජිත් මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම පතොක් සහ ෆයිටර් මත්ස්‍යයන් තොගය රාජසන්තක කළ අතර ව්‍යාපාරිකයාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය .

