මාධ්‍ය හමුව නිසා විගණකාධිපතිවරයා සහ කෝප් කමිටුව සම්බන්ධයෙන් වැරදි අදහසක් සමාජගතවූයේ නම් සමාව ඉල්ලා සිටින බව භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය කෝප් කමිටුව හමුවේ පැවැසීය.
• කැබිනට් සංදේශයක් මගින් පනත සංශෝධනය සදහා බලය ලබා ගැනීමට සති දෙකක් තුළ කටයුතු කරන ලෙසටත් නිර්දේශ
• බලපත්‍ර ලබාගැනීමේ සංකීර්ණ ක්‍රමවේදය වෙනුවට මානව හිතවාදී නව ක්‍රමවේදයක් සකස් කිරීමටත් නියෝග
• කැනීම් බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයන් හෝ ආයතන සහ අදාළ කාලසීමාවන් පිළිබඳ පූර්ණ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමටත් උපදෙස්
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය කැදවා තිබිණි. මේ අනුව මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආර්.සංජීපන් සහ අධ්යක්ෂ ජනරාල් (වැඩබලන) එම්.එම්.ජේ.පී.අජිත් ප්‍රේමා යන මහත්වරු සහභාගී වූහ.
භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය මගින් මාධ්‍ය හමුවක් පවත්වා කෝප් කමිටුව සම්බන්ධව කරුණු දැක්වීම පිළිබදව මෙහිදී කරුණු විමසන ලදී. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ කෝප් කමිටුව විවේචනය කිරීමේ අරමුණක් නොතිබූ බවත් යම් ආකාරයක අපහසුතාවක් සිදුවූයේ නම් ඒ පිළිබදව සමාව ඉල්ලා සිටින බවත්ය.
විගණකාධිපතිවරයාගේ නිර්දේශ කිසිදු පුද්ගලයෙකු හෝ ආයතනයක් ඉලක්ක කරගනිමින් ලබා නොදෙන බවත්, කමිටුවට ඇති බලතල අනුව ක්‍රියාකරන බවත් කෝප් සභාපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. විගණකාධිපතිවරයා හෝ කෝප් කමිටුව විවේචනය කිරීම මගින් මෙම ගැටලුවලට විසදුම් නොලැබෙන බවත්, මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බැවින් මින් ඉදිරියට එවැනි ක්‍රියා සිදු නොවීමට වගබලා ගැනීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරිණි.
බලපත්‍ර නිකුත් කිරීම, බලපත්‍ර නිකුත් කොට අහෝසි කිරීම, විගණකාධිපතිවරයාගේ විගණන විමසුම්වලින් නිරීක්ෂණය කරන ලද කරුණු පිළිබද අදහස් දැක්වීමට මෙහිදී කාර්යංශයට අවස්ථාව ලබා දෙන ලදී. බලපත්‍ර ලබාදීමේදී අදාළ අනෙකුත් ආයතනවල අනුමතිය ලබාගැනීමේදී ප්‍රමාදයන් සිදුවන බව කාර්යංශයේ සභාපතිවරයා පවසා සිටියේය. දිස්ත්‍රික් කාර්යාල මගින් බලපත්‍ර ලබා දීමේ කටයුතු සියල්ල සිදුකර අධ්යක්ෂ ජනරාල්වරයා සදහා අවසන් අනුමතිය සදහා යොමුකරන බවත් අමාත්‍යවරයා වෙත යැවීම සිදුකරන්නේ දැනගැනීම සදහා පමණක් බවත් ඔහු පැවසීය.
බලපත්‍ර අහෝසි කිරීමේදී නැවත අභියාචනා ඉදිරිපත් කළ පසු එම කටයුතු අමාත්‍යාංශයේ නීති නිලධාරියෙක් නොමැතිවීම නිසා ඇණහිට තිබීම පිළිබදව අවධානය යොමුවිය. කොන්ත්‍රාත් පදනම මත නීති නිලධාරියෙක් අමාත්‍යාංශයට බදවා ගැනීමට කටයුතු කරන ලෙස කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
කැනීම් බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයන් හෝ ආයතන සහ අදාළ කාලසීමාවන් පිළිබදවත් ඒවා අක්‍රීය පවතිනනම් ඒ සියලු කරුණු කාරණා ඇතුළත් වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමටත් මෙහිදී නියෝග කෙරිණි.
මෙම ගැටලු විසදා ගැනීම සදහා නව පනතක් හදුන්වාදීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව කැබිනට් සංදේශයක් මගින් පනත සංශෝධනය සදහා බලය ලබා ගැනීමට සති දෙකක් තුළ කටයුතු කර දන්වන ලෙස නිර්දේශ කෙරිණි.
එසේම බලපත්‍ර ලබාගැනීමේ සංකීර්ණ ක්‍රමවේදය වෙනුවට මානව හිතවාදී නව ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කමිටු සභාපතිවරයා නියෝග කරන ලදී.
ඇතැම් ආයතනවලට ලබාදී ඇති අපනයන ඛනිජ සදහා වන කැනීම් බලපත්‍ර, කාර්යංශය හා ලේකම්වරයාට දැනුම්දීමකින් තොරව පැවරීම සිදුකරන අවස්ථා ඇති බව මෙහිදී අනාවරණය විය. ඩොලර් මිලියන 89 කට තවත් පාර්ශවයකට එවැනි බලපත්‍රයක් විකුණා ඇති අවස්ථාවක් වාර්තාවී ඇති බවද කාර්යංශ සභාපතිවරයා පැවසීය. එම තොරතුරු කඩිනමින් විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙසද කමිටුව දැනුම් දුන්නේය.
කාර්යාංශය සමග නිරන්තර අවධානයෙන් සිටිමින් එම කටයුතු අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ලේකම්වරයාට කමිටුව විසින් අවධාරණය කරන ලදී. එසේම භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සම්බන්ධව විමර්ශන කටයුතු සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පසුගිය කෝප් රැස්වීමේදී පත්කරන ලද කෝප් අනුකමිටුව මගින් ඉදිරි කටයුතු සිදු කරන බවත් කෝප් සභාපතිවරයා පැවසීය.