වංචා, දූෂණ හෙළිදරව් කිරීමේදී ඒ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට අදාළ හෙළිදරව්ව සිදු කළ පණිවුඩකරුවා විනාශ කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු කාරණයක් බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අද (06දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,
"අපි පළමුවෙන්ම හෙළා දකිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවාගෙන දර්ශන හඳුන්ගොඩ මහතාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම ගැන. ඔහු මාධ්‍යවල කතා කරන හැටි, ඔහුගේ මාධ්‍ය භාවිතාව පිළිබඳ විවේචන තිබෙන්න පුළුවන්. ඔහු ත්‍රස්තවාදියෙක් නෙවෙයි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනගොස් අපරාධ විමර්ශනය කරන්න ඕන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු අවසාන වශයෙන් කරුංකා වංචාවක් ගැන කතා කළා. ඒ
වගේම යුද හමුදාව පිළිබඳ විශාල හෙළිදරව් ගණනාවක් කළා. රාජපක්ෂ පුතුන්ගේ වාහන ජාවාරමක් ගැන බරපතළ හෙළිදරව්වක් කළා. අවසාන වශයෙන් පොලිස් ඇමති ටිරාන් අලස් මහත්මයා මිලියන 1500ක් ලංකා බැංකුව හරහා ලබාගැනීමේ ක්‍රියාවලියක් ඔහු හෙළිදරව් කළා.
ඒ අනුව පෙනී යනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ කාරණා නෙවෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවලා තිබෙන්නේ පසුගිය මැයි 09වැනිදා සිදු වුණු සිදුවීමක් ගැන. මේ යම් යම් ඇමතිවරුන්ගේ ගනුදෙනු පිළිබඳ නිසි විමර්ශනයක් කරලා, ඒ නීතිවිරෝධී ගනුදෙනුවලට සම්බන්ධ දේශපාලකයෝ ඉන්නවා නම්, නිලධාරීන් ඉන්නවා නම් ඒ පිළිබඳ විමර්ශනය කරන්නේ නැතිව ඒවා වාර්තා කළ වාර්තාකරුවන්ට එරෙහිව කටයුතු කරනවා. පණිවුඩය ගැන සොයන්නේ නැතිව පණිවුඩකරුව විනාශ කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු තත්ත්වයක් පමණක් නොව එය වළක්වාගත යුතු තත්ත්වයක් මේ රටේ" යනුවෙන් කියා සිටියේය.