දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළ දී ඇති මූල ගැටිති වටපණු රෝගය හෙවත් Nematode නැමැති රෝගය වැළඳීමට හේතුව විදිමත් ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් නිසි ප්‍රමිතියට සකස් නොකරන ලද කාබනික පොහොර නිසා ද? යන්න පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.
අද දින (13) පස්වරුවේ කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේ දී ලේකම්වරයා මේ බව අමාත්‍යවරයා දැනුම්වත් කරනු ලැබීය.
2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම් කරනු ලැබීමෙන් අනතුරුව කාබනික පොහොර විවිධ ආයතන මගින් ගොවි ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කරනු ලැබීය. එම වකවානුව තුළ විශාල වශයෙන් විවිධ ආයතන කාබනික පොහොර සකස් කර ඇති අතර ඔවුන් අදාල විදිමත් ක්‍රියාවලිය අනුගමනය කළා ද යන්න ගැන සැකයක් පවතින බව පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවදානය යොමු කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇති කොම්පෝස්ට් සාම්පලවල නෙමටෝඩා බහුල වශයෙන් පවතින බව තහවුරු වී ඇතත්, මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත්, එමෙන්ම නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය මර්දනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය වී වගාවට වැළඳීමට හේතුවුයේ ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර යැයි සැක කරන බව ද ලේකම්වරයා පැවසීය. මෙම රෝගයේ ඇති භයානක තත්ත්වය නම් වටපණුවා වී වගාවට පමණක් නොව වෙනත් වගා රැසකට බලපෑම් එල්ල කිරීමට ඇති හැකියාවයි.