අනුරාධපුර නුවර වැවේ රක්ෂිතය ගොඩ කරමින් හෝටලයක් සහ පිහිනුම් තටාකයක් ඉදි කිරීමට විරෝධය පළ කරමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් ඊයේ (31දා) අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ඩී.එස් සේනානායක ප්‍රතිමාව ඉදිරිපිට පොල් ගසා, දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
අක්කර අඩි 36050ක ජල ධාරිතාවයක් ඇති, අක්කර 2600ක ප්‍රමාණයක් කුඹුරු අස්වද්දන, ගොවි පවුල් දෙදහසක් පමණ සිටින, 36000 කට වැඩි පිරිසක් පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නා අනුරාධපුර නුවර වැව් රක්ෂිතය ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් ගොඩ කරමින් සිටින බව උද්ඝෝෂකයෝ මෙහිදී පැවසූහ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළ නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සමිත හිමි,
අනුරාධපුර නුවර වැව ඒකා බද්ධ ගොවි සංවිධානය සහ දිස්ත්‍රික්කය පුරාම තිබෙන සියලු ගොවි සංවිධානවල නියෝජිත මහත්වරුන් එකතු වෙලා අද දැවැන්ත උද්ඝෝෂණයක් අනුරාධපුර නගරයේ දී කරන්නට යෙදුනා. එයට හේතුව තමයි අනුරාධපුර නුවර වැවේ ජල ධාරිතාවය, වාන් දමන මට්ටම අඩු කරන්නට සියලු කෙටුම්පත් සකස් කර තිබීම. ඒ නිසාවෙන් අපි ඒකට විරුද්ධව,මේ දැවැන්ත උද්ඝෝෂණය කරන්නට යෙදුනේ.
මේ සම්බන්ධයෙන් අපිට ගැටලුව තියෙන්නේ රජයේ නිලධාරීන් සහ ඇමතිවරයා සමගයි.අපි අද ජනාධිපතිවරයාට දෙන්න සන්දේශයක් දිසාපති තුමාට භාර දුන්නා. නමුත් දිසාපතිවරයා දියාරු වචන, වගකීම් විරහිත ප්‍රකාශ කළේ තමයි සිදු කලේ.ඒක තමයි අපිට දැනුන දේ,
අනුරාධපුර මාකට් පෙදෙසින් ආරම්භ කෙරුණු මෙම උද්ඝෝෂණ පෙළපාලියේ යෙදුණු පිරිස් සටන් පාඨ කියමින් විරෝධතාපුවරු අතැතිව මහා වීදිය ඔස්සේ ඔරලෝසු කණුව වට රවුම හරහා ඩී.එස් සේනානායක පිළිරුව අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙම උද්ඝෝෂණ පෙළපාලිය හේතුවෙන් අනුරාධපුර නගරයේ දැඩි රථ වාහන තද බදයක් හටගත් අතර එම රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යැවීමට රථ වාහන අංශ නිලධාරීන් මෙහිදී පියවර ගත්හ.
අනුරාධපුර නගරයේ දී පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
"මගේ කිසිදු ඉදිකිරීමක් වැව් රක්ෂිතයක සිදු කර නැහැ. ඒ පිළිබඳව මාධ්‍ය හෝ වෙනත් ඕනෑම කෙනකුට ඇවිත් බලන්න පුළුවන්, සියලු ඉදිකිරීම් නීත්‍යානුකූලව සිදු කර තිබෙනවා. හැබැයි මට කණගාටුවක් තිබෙනවා, එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මගෙන් ඇවිල්ලා ඉඩමක් ඉල්ලුවා. එම ඉඩම නීත්‍යානුකූලව ලබා දෙන්න හැකියාවක්. එය නීතියට පටහැනියි. උන්වහන්සේ එදා පිට ව ගියේ හොද වැඩක් කරනවා කියලයි. ඒවායේ ප්‍රතිඵල තමයි මෙවැනි උද්ඝෝෂණ යැයි" පැවසීය.'