විදේශ සේවා නියුක්ති කාර්යාංශ නියෝජිත ආයතන බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයින් රැසකගෙන් නිති විරෝධීව මුදල් ගත් විදේශ රැකියා නියෝජිතවරයෙක් ඊයේ (16) බත්තරමුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්විය.
ගල්කිස්ස ප්‍රදේශයේ ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් කටාර් රාජ්‍යයේ විවිධ රැකියාවලට යවන බව පවසා ඒජන්සිකරු තමන්ගෙන් මුදල් ගත් බවත් මුදල් ලබා ගැනීමෙන් පසු තමන් මග හරිමින් සිටින බවත් සඳහන් කරමින් සැකකරුට විරුද්ධව පැමිණිලි 31 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබිණි.
පැමිණිලිකරුවෝ යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචි අය වෙති. ඒ අනුව පැමිණිලි විභාග කිරීම සඳහා සැකකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත ඊයෙ දිනයේ (2023.5.16) කැඳවා තිබිණි. එම කැඳවීම අනුව ඔහු කාර්යාංශය වෙත පැමිණ තිබූ අතර එම අවස්ථාවේ සැකකරුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.
ලැබී තිබූ පැමිණිලිවලට අනුව රුපියල් ලක්ෂ 42කට අධික මුදලක් සැකකරු විසින් පුද්ගලයින් රැසක් මුලා කර ලබාගෙන ඇති බව වාර්තා වේ. සැකකරු විදේශ රැකියා නියෝජිත ආයතන බලපත්‍රයක් නොමැතිව කාලයක් තිස්සේ රැකියා සඳහා ශ්‍රමිකයින් විදේශ ගත කරන බව පවසමින් මෙම වංචාවේ නිරත වී ඇති බව අණාවරණය වී තිබේ.
සැකකරු අද දින 2023.05.17 දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.