වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ අළෙවි කළ බවටත්, ලියාපදිංචි ඖෂධවේදියෙකු නොමැතිව ඖෂධ හලක් පවත්වා ගෙන ගිය බවටත්, බල පත්‍රයක් නොමැතිව ඖෂධ සන්තකයේ තබා ගත් බවටත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි පුද්ගලික ඖෂධ හල් හිමියන් දෙදෙනෙකු එකී චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුනට මුදලින් රුපියල් පන් ලක්ෂ හතළිස් දහසක දඩයක් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළේය.
එක් ඖෂධ හල් හිමියෙකුට මුදලින් රුපියල් 270000 බැගින් මෙම පන් ලක්ෂ හතළිස් දහසක දඩ මුදල නියම කෙරිණ. මෙම චෝදනා සඳහා තමන් අධිකරණය හමුවේ වරදකරු වී දඬුවම් ලැබූ බව සඳහන් කරමින් ජාතික පුවත් පත්වල භාෂා ත්‍රිත්වයෙන්ම දැන්වීම් පළ කර එකී පුවත් පත් දැන්වීම් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා විත්තිකාර ඖෂධ හල් හිමියන් දෙදෙනාට තවදුරටත් නියෝග කළේය.
මෙසේ දඬුවම් නියම වූයේ ගලෙන්බිඳුනුවැව නගරයේ පිහිටි සෙත්නා ෆාමසියේ අයිතිකරු වන එච්. එම්. ඩබ් ජී. වසන්ත බණ්ඩාරට සහ
ගලෙන්බිඳුනුවැව නගරයේ ටී. පී. ෆාමසියේ අයිතිකරු වන ඊ. එම්. නයෝමි සුරංගිකා යන දෙදෙනාටය.
අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්. සී. ඩී. ආරියරත්න මහතාගේ උපදෙස් මත අනුරාධපුර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ ආහාර හා ඖෂධ පරීක්ෂක ප්‍රසාද් උදය කුමාර සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. කේ. අබේපාල යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ. ජ්‍යෙෂ්ඨ ආහාර හා ඖෂධ පරීක්ෂක ප්‍රසාද් උයද කුමාර මහතා විත්තිකරුවන්ට එරෙහිව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරමින් කරුණු කීවේය.
(අනුරාධපුර -උපාලි ආනන්ද)