පානදුර, දිබ්බැද්ද ප්‍රදේශය භීතියට පත්කරමින් මාස තුනකට ආසන්න කාලයක් නිවාස වලට ගල් ප්‍රහාර එල්ල කල බැව් කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පින්වත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 3 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඊයේ (24දා) නියම කළේය.
පානදුර, දිබ්බැද්ද ප්‍රදේශයේ පදිංචි රවිදු මධුශංක දිසානායක නමැති 22 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී .
සැකකරු කළුතර මහ රෝහලේ මානසික වෛද්‍යවරයා හමුවට පමුණුවා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඊළඟ නඩුවාර දිනයේදී සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
පානදුර , දිබ්බැද්ද ප්‍රදේශයේ නිවාස වලට භූතයෙක් ගල් ප්‍රහාර එල්ල කරන බවට ලද පැමිණිලි මත ආවේක්ෂණ රාජකාරි යොදා සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිලූක එම් සිල්වා මහතා කියා සිටියේ, ඇසින් දුටු සාක්ෂි දෙකක්ද ඇති බව පොලිසිය සඳහන් කරන බැවින් ආවේක්ෂණ රාජකාරි යෙදවූයේ මන්ද යන්න ගැටලු සහගත බවත් තම සේවාදායකයාට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත්ව ඇති බවත්ය.
විත්තිය වෙනුවෙන් නීතිඥ දිනූක එම් සිල්වා සහ ඩබ්ලිව් .ඩී. තිසේරා යන මහත්වරුන් පෙනී සිටි අතර, පොලිසිය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩී.හේරත් උසාවි කටයුතු මෙහෙයවීය.
ලබන පෙබරවාරි 3 දා නඩුව යලි කැදවීමට නියමිතයි .
පානදුර සුමිත් ප්‍රේමතිලක