වසරක් තුලදී නිවාස 11ක් බිඳ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා දේපල සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව පොලිසිය කියයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එලෙස සොරාගත් උණු කරන ලද පවුම් 19ක රන් කැබලි, රනින් සහ දියමන්ති වලින් නිමවූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා අත්ඔරලෝසු 4 ක් විදුලි උපකරණ , ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන , ගෘහ උපකරණ හා,පෞරාණික භාණ්ඩ, කුඩා මැණික් ගල්, හා තවත් භාණ්ඩ රැසක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.
තලවතුගොඩ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් පමණක් මෙම සැකකරු කෝටි දෙකකට අධික දේපල සොරා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විවිධ භාණ්ඩ අඩු මිලට විකුණන පුද්ගලයකු කොලොන්නාව සංහිද නිවාස සංකීර්ණයට පැමිණ සිටින බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තලවතුගොඩ , මාලඹේ සහ හෝකන්දර ප්‍රදේශවල රැඳී සිටිමින් මෙම සොරකම් සියල්ල සිදුකර ඇතැයි පොලිසිය කියයි.
මීට පෙර සොරකම් වලට සම්බන්ධ වී පොලිස් අත්අඩංගුවට පත්ව වසර 5ක සිර දඬුවමක් ලැබ 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී නිදහස්ව පැමිණි තිබූ සැකකරු මේ දක්වා තලංගම, මහරගම හා වැල්ලම්පිටිය බල ප්‍රදේශ වල නිවාස වලින් මෙම දේපල සොරා ගෙන තිබූ බව පොලිසිය කියයි.
සොරා ගත් දේපල වලින් බහුතරයක් කොළොන්නාව සංහිඳ නිවාස සංකීර්ණයේ පුද්ගලයන් ට අඩු මුදලට විකුණා ඇතැයිද තවත් රන් ආභරණ හෙට්ටිවීදිය රන් ආභරණ වෙළඳසැල් වලට විවිධ පුද්ගලයන් මාර්ගයෙන් විකුණා දවසකට රුපියල් 20,000 කට ආසන්න මුදල් ප්‍රමාණයක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සැකකරු මිලදීගෙන පානය කර ඇතැයි පොලිසිය කියයි.
අවුරුදු 37 ක් වන සැකකරු ගම්පහ ඉදිගොල්ල පදිංචිකරුවෙකි.
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
