මාතර නිල්වලා ගගබඩ උද්‍යානය මගින් මහජන පීඩාවක් සිදු විය හැකි බවට පොලීසිය විසින් අධිකරණය වෙත කල පැමිණිල්ලකට අනුව මාස එක හමාරක පමණ කාලයක් වසා තබන ලෙසට පනවා තිබු ආඥාව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් අද (04) ඉවත් කලේය.
2025 ජුලි මස 19 වැනි දින මහජනතාව වෙනුවෙන් විවෘත කල මෙම උද්‍යානය අනාරක්ෂිත බවක් පෙනෙන්ට ඇති බවත් පිලිගත් ආයතනයකින් සහතිකයක් ලැබෙන තෙක් ජනතාවට විවෘත නොකරන ලෙසටත් නාගරික සංවර්ධන අධිකාරියේ මාතර සහකාර අධ්යක්ෂ කාරියවසම් ගමගේ සුනිල් මහතා හා මාතර පුරවැසියන් දෙදෙනෙකු වු මාතර උයන්වත්ත බාරෝන් වෛද්‍යරත්න මාවතේ පදිංචි විශ්‍රාමික ඉංජිනේරු සහකාර බන්දුල සෙනරත් ගමගේ හා මාතර වෙහරගම්පිට 5 වැනි හරස් පාරේ පදිංචි මාතර සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ ගුරුවරයෙකු වන කුරුප්පු ආරච්චිගේ රංගනජීව යන මහත්වරු පොලීසිය වෙත පැමිණිලි තුනක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය පනතේ 98 (1) වගන්තිය ප්‍රකාරව මාතර නිල්වලා ගගබඩ උද්‍යානයෙන් මහජනයාට පීඩාවක් විය හැකි බවට පොලීසිය ඉකුත් ජුලි මස 21 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙකුගේ,මාතර පොලීසිය විමර්ශන නිලධාරියෙකුගේ,මාතර මහ නගර සභාවේ තාක්ෂණ නිලධාරියෙකුගේ ,වන ජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරිවරයාගේ,මධ්‍යම පරිසර අධිකාරියේ බලයලත් නියෝජිතයෙකුගේ,ගොඩනැගිලි හා පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සුදුසු නිලධාරියෙකුගේ,වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ,මාකෝප් සමූහ සමාගම නියෝජනය කරමින් ස්වාධීන ඉංජිනේරුවරයෙකුගේ ස්ථානය පරික්ෂා කොට වාර්තා ලැබෙන තෙක් සැප්තැම්බර් මස 26 වැනිදා දක්වා නිල්වලා ගගබඩ උද්‍යානය මහජනතාව වෙනුවෙන් වසා තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ආඥාවක් නිකුත් කර තිබුණි.
ඒ අනුව ආදාල අයතන හත ඉකුත් 26 වැනි දින අදාල වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.
එහිදී පැමිණිලිකාර පාර්ශවය විසින් අනාරක්ෂිත බවට දක්වන ලද නිල්වලා ගග නැරඹුම් මැදිරිය තාවකාලිකව වසා දැමීමට මාකෝප් රිවර් සමාගම අධිකරණයේ දී එකගතාවය පල කරන ලදි.
එම එකගතාවය අනුව මාකෝප් රිවර් රෙස්ටොරන්ට් සමාගම කටයුතු කර ඇති බවට ඊයේ (04) මාතර පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කලේය.
පැමිණිල්ල වෙනුවෙන් මාතර පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති සංජීව ජයසිංහ හා නාගරික සංවර්ධන අධිකාරියේ නීතිඥ මඩුල්ලක් පෙනී සිටියේය.
මාකෝප් රිවර් රෙස්ටොරන්ට් සමාගම වෙනුවෙන් නීතිඥවරුන් වන දසරාජ් දහනායක,රසාංග වර්ණසූරිය හා චන්දන ගොඩකන්දගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් පෙනී සිටියේය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්