ප්‍රමිතියෙන් තොරවීම නිසා නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඉන්දීය සමාගමකින් මෙම ඖෂධය මිලදීගෙන තිබෙන බවත්, රෝගීන් වෙනුවෙන් මෙම ඖෂධ භාවිත කිරීමේදී රෝගීන්ට ඇති වූ සංකූලතා සැලකිල්ලට ගෙන භාවිතයෙන් ඉවත් කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙම ඖෂධය සඳහා රුපියල් මිලියන ගණනක් වියදම් කර තිබෙන බවත්, මේ නිසා මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් වහාම පරීක්ෂණයක් සිදුකර අදාළ ඖෂධය ගෙන් වූ පිරිස්වලින් අලාභය අයකර ගත යුතු බවත් චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.
මෙම ඖෂධය ලංකාවෙ ලියාපදිංචි ඖෂධය නොවන බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ වනවිට තහවුරු කර තිබෙන බවත්, එහෙත් ගැටලුව වී තිබෙන්නේ, මෙම ඖෂධය රෝහල්වලට බෙදාහැර රෝගීන්ගේ භාවිතයට යොදා ගන්නා තෙක් මේ පිළිබඳ බලධාරීන් නොදැන සිටීම බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ සහ 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළදී ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේදී සිදුව තිබෙන අක්රමිකතාවන් හා වංචාවන් පිළිබඳ සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස 16දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද චමල් සංජීව මහතා පවසා සිටියේය
එසේම ප්‍රතිජීවක ඖෂධ තොගයක් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 500ක මූල්‍ය වංචාවක් සිදුවීමට ගිය බවත්, මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු අදාළ ටෙන්ඩරය ලබාදීම නවතා දමා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
එහෙත් මෙය මිලදී ගැනීමට සැලසුම් කිරීමේදී මූල්‍ය වංචාවක් සිදුවීමට ගිය නිසා ඒ පිළිබඳ පරීක්ෂා කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.