දුම්රිය මගී ජනතාවගේ බලවත් ඉල්ලීම මත මහනුවර මාතලේ අතර ධාවනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් යෙදවූ බලවේග කට්ටල දුම්රිය එහි නියාමකවරුන් අතර පවතින මත භේදයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ ධාවනය නොකොට දුම්රිය අංගනයේ නවතා තිබෙන බව මහනුවර මාතලේ දුම්රිය මගී එකමුතුවේ සභාපති කසුන් හල්විටගේ මහතා පවසයි .
මෙම දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් දෛනිකව දුම්රියෙන් ගමන්ගත් පාසල් ළමුන්, කාර්යාල සේවකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වී සිටින බව හල්විටගේ මහතා පවසයි .
මාතලේ මහනුවර දුම්රිය මාර්ගයේ දීර්ඝ කාලයක් ධාවනය වූ දුම්රිය අබලන් වීම හේතුවෙන් මගි ජනතාවගේ දැඩි ඉල්ලීම පරිදි මෙම බලවේග කට්ටල දුම්රිය පසුගිය 22 දින ලබාදුන් බවත් එය දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රධාන ධාවන බල ඉංජිනේරුවරයා ඇතුලු කාර්මික නිලධාරීන් පිරිසක් එදිනම මහනුවර හා වත්තේගම අතර බලවේග කට්ටල දුම්රිය ධාවනය කර එය ධාවනයට සුදුසු බවට නිර්දේශ කළ බවත් ඒ මහතා පැවසීය .
මේ සම්බන්ධයෙන් මහනුවර දුම්රිය ස්ථානයේ ප්රධාන නියාමක නිලධාරි ආර්. කේ. වී. දොරගමුව මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එම බලවේග කට්ටල දුම්රියේ ප්රායෝගික මෙන්ම තාක්ෂණික ගැටලු රැසක් තිබෙන බවත් එම දෝෂ සියල්ල යථාවත් කරන තෙක් එහි රාජකාරි නොකිරීමට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය තීරණය කොට ඇති බවයි .
එහෙත් මාතලේ මහනුවර දුම්රිය මගීන්ගේ එකමුතුව පවසා සිටින්නේ වෙනත් වෘත්තීය ගැටලුවක් මුල් කර ගනිමින් ඔවුන් මෙම දුම්රියේ රාජකාරි භාර නොගන්නා බවයි .
ඡායාරූප- ධාවනයට යෙදවූ බලවේග කට්ටල දුම්රිය මහනුවර දුම්රිය අංගනයේ නවතා ඇති අයුරු .
