උඩවළව මළබොටුආර ප්රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් දහදෙනෙක් උඩවළව පොලීසිය විසින් ඊයේ (08දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
උඩවළව පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව උඩවළව පොලීසිය මෙම වැටලීම කළේය. මළබොටුආර ප්රදේශයේ තේක්ක කැලේ දොළක් අයිනේ මෙම කැණීම් කරමින් සිටි බව පොලීසිය පැවසුවේය. සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්, උදලු, අලවංගු, තාච්චි, කඹ ඇතුලු කැණීම් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා නාරාහේන්පිට යුදහමුදා මහල් නිවාසවල පදිංචි හමුදා රෝහලේ සේවයේ කරන තිස් හැවිරිදි වියේ පසුවන හමුදා සෙබළෙක් බව ද පොලීසිය පැවසුවේය. සෙසු සැකකරුවන් නාරාහේන්පිට, බරවකුඹුක, බොරලැස්ගමුව, කොළඹ 05 සහ බඩල්කුඹුර ප්රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අවුරුදු 23ත් 45ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් බව ද පොලීසිය කීවේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. උඩවළව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්නේ ජේ නානායක්කාර