මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඩුව වැඩමවීම 13 වරක් වැඩම කරවීමට තරම් භාග්‍යවන්තවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7දා) උදෑසන මියයාම සැලවීමත් සමග විශාල ජනතාවක් , ගෞරවය පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරුවූ වෛද්යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස කරා පැමිණෙමින් සිටිති.
මියයන විට 69 වයසේ පසුවූ රාජා හස්තියා , කිසිදු අසනීප තත්ත්වයකින් නොසිටි බවත් ඊයේ දවස පුරා කිසිදු කෑමක් නොගෙන සිටීම මත සුපරීක්ෂාවෙන් සිටියදී අද උදෑසන එක්වරම ඇද වැටීමෙන් මරණයට පත්වූ බවත් වෛද්යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.
ආසියාවේ විශාලතම හීලෑ ඇතු ලෙස සැලකෙන රාජා හස්තියා, 1953 වර්ෂයේදී ඉන්දියාවේ උපත ලබා ඇති අතර එරට ධනකුවේරයෙකුට ප්‍රතිකාර ලබාදීම පිණිස එරටට ගිය පිළියන්දල නීලමහර වෙද හාමුදුරුවන්ට ත්‍යාගයක් ලෙස ලැබී ඇති මෙම හස්තියා , පසුකලෙක හර්ෂ ධර්මවිජය මහතාගේ පියාණන් විසින් ලබා ගැනීමෙන් අනතුරුව මිය යන තෙක්ම නැදුන්ගමුව වෛද්‍යාචාර්යවරයා විසින් රැකබලා ගැනීම සිදු කළේය.
රාජා මියයාම සැලවීමත් සමග මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර මහතා අද උදෑසන පැමිණ දැකබලා ගත් බව ධර්මවිජය මහතා පැවසීය. මේ අතර මෙම සිදුවීම සැලවීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දුරකථනයෙන් වෛද්‍යවරයාට කතාකොට ශෝකය පළ කොට ඇත.
මෙම හස්තියා වසර 25 ක පමණ කාලයක් රැකබලාගත් විල්සන් කොඩිතුවක්කු මහතාද රාජා මියයාමෙන් දැඩි ශෝකයට පත්ව සිටින අතර මහනුවර ඇතුලු සෑම පෙරහරක් සදහාම හස්තියා පාගමනින් රැගෙන ගියේ මොහුය.
මෙරට ජනතාව අතර විශාල ගෞරවයට පාත්‍ර වූ රාජා හස්තියාගේ අවසන් කටයුතු සිදු කරමින් දළදා මාලිගාවේදී සංරක්ෂණය කරන්නේද යන්න තීරණය කරන ලෙසට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ මාළිගාව මගින් තීරණයක් ගත යුතු බවත් නොඑසේනම් නැදුන්ගමුව සිය ගෙවත්තේදී අවසන් කටයුතු සිදු කෙරෙන බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා සදහන් කළේය.
ගම්පහ තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර




