නැගෙනහිර කලාපය තුළ වී මිලදී ගැනීම සඳහා වී අස්වනු නෙළන ප්‍රදේශ ආවරණය වන පරිදි ඉකුත් සතියේ සිට ගබඩා විවෘත කළත් ඊයේ (08) දිනය අවසන් වන තුරු කිසිදු ගොවියෙකු වී ලබාදී නැතැයි වී අලෙවි මණ්ඩලය කියයි.
දැනට වී අස්වනු නෙලන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලය,තඹලගමුව, කන්තලේ යන ගබඩා විවෘත කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චෙන ගබඩාව විවෘත කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) අජිත් ශාන්ත කුමාර මහතා පැවසීය.
අස්වනු නෙලන ආරම්භක අවධිය මේ කාලය නිසා වී ගොවීන් බොහෝ දෙනකු සිය අස්වනු පෞද්ගලික වෙළදුන්ට ලබාදීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවද ප්‍රාදේශීය කළමනාකාරවරයා කීහ. මෙවර වී මිලදී ගැනීම ප්‍රමිතියෙන් යුක්ත නාඩු වී කිලෝවක් රුපියල් 120/= කටද සම්බා වී කිලෝවක් රුපියල් 125 /= කටද මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව බවද කීහ.
මහා වාරි පද්ධතිවල අස්වැන්න නෙලීම ආරම්භ විමත් සමග වී අලෙවි මණ්ඩලයට ගොවින් වී ලබාදෙනු ඇති බවට තමන්ගේ විශ්වාසය බව ප්‍රාදේශීය කළමනාකාරවරයා තවදුරටත් කීහ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා