ජලයේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ ජලයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව කිමිදුම් සහය ලබාදීම නිරතුරුව සිදුකරනු ලබන අතර, පසුගිය 2022 වර්ෂයේ මැයි මස 22 සිට 2023 වර්ෂයේ මැයි මස 22 දක්වා ගතවූ වසරක කාලය තුල නාවික හමුදාව මඟින් විවිධ හේතූන් මත ජලයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර 148 ක් සොයා ගැනීම සඳහා කිමිදුම් සහය ලබාදීමට කටයුතු කර ඇත.
ශ්රී ලංකාව තුල දීයේ ගිලීමෙන් පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීම සඳහා බලපානු ලබන ප්රධාන හේතූන් ලෙස; සියදිවි හානි කරගැනීම, ධීවර කටයුතු සිදුකිරිමේදී සහ නොසැලකිලිමත් ලෙස මත්පැන් පානය කර දියනෑම සඳහා ජලමූලාශ්ර වෙත බැසීම, පිහිණීමට හැකියාවක් නොමැතිව තිබියදි අනාරක්ෂිතව ජල ක්රීඩා සිදුකිරීම සහ දියනෑමට යාම, නොදන්නා ස්ථානයන්හී දියනෑම සහ කිඹුලන් සිටින ගංඟා ඇල දොළ වැව් හෝ පොකුණු වල දියනෑම යන හේතූන් හඳුනාගෙන ඇත.
ඒ අනුව, ගතවූ වසරක කාලය තුල නාවික හමුදා කිමිදුම් සහය මත ගොඩගත් දියේ ගිලී ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර 148 සඳහා, සියදිවි හානි කරගත් පුද්ගලයන් 19 ක් , ධීවර කටයුතු සිදුකිරීමේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත් පුද්ගලයන් 18 ක් සහ නොසැලිකිලිමත්කම හේතුවෙන් දියේ ගිලී ජීවිතක්ෂයට පත් පුද්ගලයන් 111 ක් ඇතුලත් වේ.
එමෙන්ම, දිවයිනේ විවිධ ප්රදේශයන්හි පොලිස්ථාන වෙතින් සිදුකරනු ලබන ඉල්ලීම් වෙනුවෙන් දියේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ මෘත ශරීර ගොඩගැනීම සඳහා නාවික හමුදාව නොමිලේ කිමිදුම් සහය ලබාදීම සිදුකලත්, කිමිදුම් උපාංග හා අමතර කොටස් පවත්නා වෙළඳපල තත්වයන් තුල අධික මිලකින් යුක්තවේ. තවද, ඉතා දුර බැහැර ප්රදේශයන් වෙත කිමිදුම් කණ්ඩායම් ප්රවාහනය කිරීමේදී විශාල පිරිවැයක් දැරීමටද සිදුවේ.
ඒ අනුව, ජල මූලාශ්රයන් ආශ්රිතව ධීවර කටයුතු සහ දෛනික කටයුතු සිදුකිරීමේදී වඩා වැඩි අවධානයකින් හා සැලකිල්ලකින් එම කාර්යයන් සිදුකිරීම මඟින්, ඒ ආශ්රිතව සිදුවන දියේ ගිලී ජීවතක්ෂයට පත්වීම් අවම කරගැනීමේ හැකියාවක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර දියේ ගිලීමෙන් සිදුවන ජීවිතක්ෂයට පත්වීම් අවම කරගැනීමට කටයුතු කරන මෙන් මහජනතාව වෙත ශ්රී ලංකා නාවික හමුදාව අවධාරනය කර සිටියි.