නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ පෞද්ගලික නිවසේ දොර ජනේල වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගත් සැකකරු දෙහිවලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සුදු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු එලෙස සොරා ගෙන තිබුණේ රුපියල් 64000 ක් වටිනා සරනේරු තොගයකි. නාවික හමුදාපතිවරයා පවුලේ සාමාජිකයන් සමඟ නිල නිවසේ පදිංචිව සිටින අතර ඉඳහිට පොල්ගස්ඕවිට හොරේතුඩුව දෙල්ගහවත්ත මෙම නිවසට පැමිණ යන බවට පොලීසිය කියයි.
ඉකුත් අප්‍රේල් මස 2 වැනි දින සහ 17 වැනි දින අතර මෙම සොරකම සිදු වී තිබිණි. අත්අඩංගුවට ගත් එම සැකකරු එම නිවසේ සියලුම දොර ජනෙල් වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගෙන ගොස් බෝකුන්දර ප්‍රදේශයේ යකඩ බඩු අලෙවි කරන වෙළෙඳ සැළකට රුපියල් 5600 ක මුදලකට විකුණා මුදල් ලබාගෙන හොරයින් මත්කුඩු මිලදී ගෙන පානය කර තිබූ බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරු නාවික හමුදාපතිවරයාගේ නිවසින් වෙනත් කිසිදු දේපලක් සොරා ගෙන නොමැති අතර මීට පෙර මේ ආකාරයෙන් කැස්බෑව පොලිස් බල ප්‍රදේශයේ නිවාස තුනකින් ද සරනේරු පමණක් ගලවාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
30 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.