නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා 2026 ජූලි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (07) නාවික හමුදා මූලස්ථානයේදී රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා වෙත අදාළ පත්වීම් ලිපිය නිල වශයෙන් ප්රදානය කළේය.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා 1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි ශිෂ්‍යභට නිලධාරී කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්විය.
1994 වසරේදී වැඩබලන උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ ඔහු, නාවික හා සාගරික විද්‍යාපීඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව, ඉන්දීය නාවික හමුදාවේ ජලතරණය පිළිබඳ විශේෂඥ පාඨමාලාව, චීනයේ නාවික අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණ හා මාණ්ඩලික පාඨමාලාව, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජාතික ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව සහ ඔස්ට්‍රේලියාවේ වොලොන්ගොන් විශ්වවිද්‍යාලයේ සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ විද්‍යාපති උපාධිය සාර්ථකව සම්පූර්ණ කර තිබේ.
2024 ජනවාරි මාසයේදී රියර් අද්මිරාල් නිලයට උසස්වීම් ලැබූ ඔහු, නාවික හමුදාවේ විවිධ වැදගත් තනතුරු රැසක් හොබවා ඇත. වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී, නාවික හමුදා නෞකා සහ ආයතනවල අණදෙන නිලධාරී, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී, අධ්යක්ෂ නාවික පුද්ගල, අධ්යක්ෂ ජනරාල් පුද්ගල, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙසද ඔහු සේවය කර ඇත.
ක්‍රීඩා ක්ෂේත්රයේද දක්ෂතා දැක්වූ රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් රගර්, මළල ක්‍රීඩා සහ බාස්කට්බෝල් ක්‍රීඩාවල නිරත වී තිබේ.
වසර තිහකට ආසන්න කාලයක් පැවති ත්රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම්වලදී දැක්වූ නිර්භීත සේවය වෙනුවෙන් ඔහු රණශූර පදක්කම නව වතාවක් හිමි කරගෙන ඇති අතර, කැපවූ හා නොකැළැල් රාජකාරී සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද පිරිනමා තිබේ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
