නාවික හමුදා කිමිදුම් අංශය මීටර් 100 ගැඹුර දක්වා කිමිදුම් මෙහෙයුම් පුළුල් කළ බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.
නාවික හමුදාවේ කිමිදුම් මෙහෙයුම් හැකියාව පුළුල් කරමින් පෙරේදා (18දා) ත්රිකුණාමලය අලියා දූපත අසල ගැඹුරු මුහුදේදී නාවික හමුදා කිමිදුම්කරුවන් 09දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීටර් 100ක් දක්වා කිමිදී නාවික හමුදා කිමිදුම් මෙහෙයුම් පුළුල් කිරීමට සමත් වූ බවද පෙන්වා දෙයි.
එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් එම සුවිශේෂී ජයග්රහණය ඇගයීමට ලක්කර තිබේ.
දිය යටදී යොදා ගන්නා සංවෘත පරිපථ භාවිතයෙන් මෙම ඓතිහාසික මීටර් 100ක් ගැඹුරට කිමිදීම සඳහා ගෑස් සහ වායූන් සම්මිශ්රණයෙන් කිමිදුම් සැලසුම් සකස් කිරීම නාවික හමුදා කිමිදුම්කරුවන් විසින්ම සිදු කළ බවද පෙන්වා දෙයි.
නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ ශිල්පීය හැකියාව සහ ක්ෂේත්රයේ විශේෂඥතාවයද පෙන්නුම් කරමින් අත්කර ගත් මෙම සුවිශේෂී ජයග්රහණයත් සමග සාගරයේ දිය යට සෙවීම් සහ ගලවා ගැනීම, මුහුදු බෝම්බ නිෂ්ක්රීය කිරීම සහ දිය යට බිඳහෙළීම් ඇතුළු මීටර් 100ක් දක්වා ගැඹුරකින් යුත් පුළුල් පරාසයක මෙහෙයුම් සාර්ථකව සිදුකිරීමේ හැකියාව සහිත කලාපීය නාවික හමුදාවන් අතරට ශ්රී ලංකා නාවික හමුදාවද එක් වී තිබේ.