නායයෑම් අධි අවදානම් ස්ථාන 30000ක්
දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික සංඛ්යාවක් හඳුනාගෙන ඇති බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය නිකුත් කරන අනතුරු ඇඟවීම් නිවේදන සම්බන්ධයෙන් අවදානය යොමු කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ භූවිද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බොහෝ ප්රදේශවල නායයෑම්වල මූලික ලක්ෂණ මතුව ඇති බවත්, ඇතැම් ස්ථානවල ගල් හා පස් තට්ටු තාවකාලිකව රැඳී ඇති බැවින් පවතින වර්ෂාවත් සමඟ ඒවා සෝදාගෙන යාමේ දැඩි අවදානමක් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ප්රදේශයකට සුළු වර්ෂාපතනයක් ලැබුණ ද පසුගිය දින කිහිපයේ ලැබුණු වර්ෂාපතනයේ බලපෑම හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් අදාළ විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, අවදානම් ප්රදේශවල ජීවත් වන ජනතාව අනතුරු ඇඟවීමේ නිවේදන නොසලකා නොහරින ලෙසත්, ප්රදේශයට ලැබෙන වර්ෂාපතනය සහ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
තවද, විදුලි කණු හා ගස් ඇලවීම, අලුතින් ජල උල්පත් මතුවීම, ජල උල්පත්වලින් මඩ සහිත ජලය ගලා ඒම සහ නිවාසවල ඉරිතැලීම් ඇතිවීම වැනි නායයෑම්වල මූලික ලක්ෂණ දක්නට ලැබේ නම් එම ස්ථානවලින් කඩිනමින් ඉවත් වන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.
අධි අවදානම් සහිත ස්ථානවල ජීවත් වන ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් රජය ක්රියාත්මක කරන බව ද සඳහන් කළ ඒ මහතා, මහවැලි ගඟ දෙපස අනවසරයෙන් හෝ අදාළ ආයතනවල උපදෙස් නොමැතිව ඉදිකර ඇති නිවාස සම්බන්ධයෙන් ද ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

