තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්රදේශයේදී ඊයේ (17දා ) රාත්රී නාඳුනන පිරිසකගේ පහරකෑමට ලක්ව පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්රදේශයේ පදිංචි එක්දරු පියකු වන විදානගමගේ චතුරංග දිල්ෂාන්(36) නැමැති අයකු බව පොලිසිය කියයි.
මොහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමේ පොලිස් මුරපොළෙහි සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බවද පොලිසිය පවසයි.
මියගිය පොලිස් කොස්තාපල්වරයාට අයත් විතාරන්දෙණිය තේනගම ප්රදේශයේ අඩක් ඉදිකළ නිවෙසක් අසලදී මෙම පහරදීම සිදුව ඇතැයි අනාවරණය වී තිබේ. රාත්රී 9.00ට පමණ එම ස්ථානයට පැමිණි කණ්ඩායමක් පොලු මුගුරුවලින් පහරදී ඇති අතර බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා සහ ඔහුගේ සොහොයුරා රෝහල්ගත කිරීමට ඥාතීහු පියවර ගෙන තිබිණි. කෙසේ වුවද පොලිස් කොස්තාපල්වරයා තංගල්ල මූලික රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති අතර ඔහුගේ සොහොයුරා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය පැවසීය.
මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
අනීෂා මානගේ