නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය අනිද්දා අරඹයි
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් හානියට පත් නානුඔය හා අඹේවෙල අතර දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණ කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය අනිද්දා (20) සිට ආරම්භ කරන බව දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී. ඩී. ඒ. සමරසිංහ මහතා සදහන් කරයි.
නානුඔය හා අඹේවෙල අතර සැතපුම් 134 දම්වැල් 78 දරණ ස්ථානයේ දුම්රිය මාර්ගය අඩි 65ක් ගැඹුරට අඩි 100ක් පළලට හා අඩි 120ක් දුරට නායයෑමට ලක්ව විනාශයට පත්ව තිබු බවත් එම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් හා අධික්ෂණය අනුව එම නිලධාරීන් සමඟ එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් හා සේවකයන් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දැඩි දුෂ්කරතා මැද්දේ සකස් කිරිමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නානුඔය බදුල්ල අතර දිනපතා දුම්රිය ගමන් වාර හතරක් ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.
දිනපතා නානුඔය සිට පෙරවරු 9.00ට අංක 1005 දරණ දුම්රිය බදුල්ල දක්වා ධාවනය කරන අතර, දිනපතා බදුල්ලේ සිට නානුඔය දක්වා අංක 1006 දරණ දුම්රිය පස්වරු 3.00ට ධාවනය කෙරේ.
ඇල්ල ඔඩිසි විශේෂ දුම්රිය සතියේ සෑම බදාදා දිනකම බදුල්ලේ සිට නානුඔය දක්වා පෙරවරු 7.45ටත්, නානුඔය සිට බදුල්ල දක්වා පස්වරු 1.00ටත් ධාවනය කෙරේ.
නානුඔය සිට බදුල්ල දක්වා අංක 1015 දරණ දුම්රිය පස්වරු 2.30ටත්, බදුල්ලේ සිට නානුඔය දක්වා අංක 1016 දරණ දුම්රිය පෙරවරු 9.00ටත් ධාවනය කරන අතර එම දුම්රියන් බදාදා දිනවල ධාවනය සිදු නොකරයි.
ශාන් හුලංනුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

