දැනට තාවකාලිකව බර වාහන ධාවනය නවතා දමා ඇති නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය කොටස යළි බර වාහන ධාවනය කිරීම සඳහා අවසර දෙන ලෙස නුවරඑළියේ බස් රථ සංගම් ඉල්ලා සිටිති.
මෙම මාර්ගයේ ධාවනය කිරීම සඳහා මාර්ග බලපත් ලබා ගත් ගිණිගත්හේන, හැටන්, මස්කෙළිය, තලවකැලේ, නාවලපිටිය ආදී ප්‍රදේශවලට ධාවනය කරනු ලබන බස් රථ රැසක් ඇති බවත්, මේ හේතුවෙන් ඔවුන් දැඩි අසාධාරණයට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
එමෙන්ම පාසල් බස් රථ, එළවළු හා පළතුරු ප්‍රවාහන ලොරි රථ, සංචාරක ව්‍යාපරයට සම්බන්ධ රථ වාහන ඇතුළු අනෙකුත් ප්‍රවාහන කටයුතුවලට මෙමගින් දැඩි බාධා එල්ලව ඇති බවද ඔවුහු පවසති.
රට තුළ ඉන්ධන අර්බුධයක් මෙන්ම දැඩි ආර්ථික පරිහානියක් පවතින මෙවැනි කාලයක බලධාරීන් මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී ඒ සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බවත්, මෙරට මාර්ග අනතුරු සෑම මාර්ගයක සිදු වෙමින් පවතින බැවින් කඩිනමින් නුවරඑළිය- තලවකැලේ රදැල්ල කෙටි මාර්ග කොටස යළි බරවාහන සඳහා විවෘත කරදෙන ලෙස ඔවුන් වගකියයුත් අංශවලින් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් කරන ලද විමසීමේදී ඒ මහතා මෙසේ පැවැසීය.
මෙම මාර්ග කොටස සම්බන්ධයෙන් තාක්ෂණ වාර්තාවක් නුවරඑළිය ප්‍රධාන මාර්ග ඉංජිනේරුවරයා හරහා මාර්ග අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙනවා. එම වාර්තාව ලැබුණු පසු දැනට බරවාහන ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති රදැල්ල කෙටි මාර්ග කොටසේ බර වාහන ධාවනය කිරීමට අවශ්‍ය සැළැසුම් සකස් කිරීමට පියවර ගන්නවා.
රදැල්ල කෙටි මාර්ග කොටස දිගින් දිගටම වසා දමා සිටිය නොහැකියි. මෙම මාර්ගය මංන්තීරු දෙකක් ලෙස පුළුල් කොට කාපට් අතුරා සංවර්ධනය කොට ආරක්ෂිත වැටවල් සවි කරන ලද ප්‍රමිතියෙන් ඉතාමත් උසස් තත්ත්වයේ මාර්ගයක්. මෙහි වරද මාර්ගයේ නොව නොසැළකිලිමත් ලෙස රථවාහන ධාවනය කරනු ලබන රියදුරන්ගේ සහ ප්‍රමිතියකට නඩත්තු නොකරන රථවාහන එම මාර්ගයේ ධාවනය කිරීමයි.
නුවරඑළිය ප්‍රදේශයේ රියදුරන්ගෙන් මෙම මාර්ග කොටසේ රිය අනතුරු සිදුවීම ඉතාමත් අවම මට්ටමක පවතින්නේ. විශාල අනතුරු සංඛ්‍යාවක් සිදු කර ගනු ලබනුයේ පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන රථ වාහන රියදුරන් විසින්. දැනට මේ මාර්ග කොටස හරහා ධාවනය කිරීම සඳහා මාර්ග බලපත් ලබාගත් බස් රථ රැසක් තිබෙනවා. ඔවුන් හා පාසල් බස් රථ සංගම් විසින් මාර්ග කොටස විවෘත කරදෙන ලෙස මටත්, ජනාධිපතිවරයාටත් ලිඛිතව දැනුම්දී තිබෙනවා. මාර්ගය පිළිබඳව තාක්ෂණ වාර්තාව ලැබුණු පසු දැඩි නීතිරීති පනවා පොලීසියේ ආරක්ෂාව වැඩි කොට රදැල්ල කෙටි මාර්ග කොටස විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සළකා බලනවා.
ශාන් හුලංනුගේ/හැටන් රංජිත් රාජපක්ෂ


