නාගරික සංවර්ධන වැඩසටහන් හා නිවාස සංවර්ධන වැඩසටහන් කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට ඔබට ගෙයක් රටට හෙටක් ආධාර නිවාස වැඩසටහන, සපිරි මහල් නිවාස වැඩසටහන, සපිරි ගම්මාන වැඩසටහන, මධ්‍යම පාන්තික හරිත මහල් නිවාස වැඩසටහන, සෙවණ ආධාර නිවාස වැඩසටහන, සූර්ය පැනල නිවාස වැඩසටහන, පැරණි මහල් නිවාස නවීකරණ වැඩසටහන වැනි නිවාස වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත.
එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක සියක් නගර සංවර්ධන වැඩ සටහන යටතේ සියලුම පලාත් ආවරණය වන පරිදි ව්‍යාපෘති 183ක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට අමතරව අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය, දැරිය හැකි මිලකට ඉදිකර නිවාස ව්‍යාපෘති, මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය දැක්වීමේ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ද ක්‍රියාත්මක කරනු ලබයි.
අයවැයෙන් වෙන්ව ඇති මුදල් කළමණාකරනය කර ගනිමින් මෙම ව්‍යාපෘති ලබන වසරේදීත් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පවසයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ රට මුහුණදී තිබෙන පශ්චාත් කොවිඩ් තත්ත්වයත් පවතින ආර්ථික අර්බුදයත් තුළ නාගරික සංවර්ධන හා නිවාස කේෂ්ත්‍රය රැකගනිමින් එය ඉදිරියට ගෙනයාමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.
එබැවින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට මෙවර අයවැයෙන් වෙන්ව ඇති මුදල් යොදාගෙන නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර දැනට ආරම්භ කර ඇති සියලුම සංවර්ධන වැඩසටහන් හා නිවාස සංවර්ධන වැඩසටහන් කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසයි.