රජයේ මූල්‍ය පහසුකම් ලැබෙනතුරු ස්වයං මූල්‍යකරණ යාන්ත්‍රණය හරහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි. මේ වනවිට රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන ඇතැම් නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු තාවකාලික පසුබෑමකට ලක්ව තිබීම ඊට හේතුවයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජාතික මට්ටමින් අතිශයින්ම වැදගත් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනතුරු ස්වයං මූල්‍ය යාන්ත්‍රණයක් හරහා මුදල් වෙන්කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බවයි.
කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේදීයි.
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් නිවාස ඒකක 50,000ක් ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන 190,054ක මුදලක් වැය කිරීමට නියමිතය.
ලබන වසරේදී කුරුණෑගල සහ මහරගම නිවාස ඒකක 900ක් ස්වයං අරමුදල් යාන්ත්‍රණයෙන් ඉදිකිරීමට යෝජිතය. ඊට අමතරව දැනට ක්‍රියාත්මක කොළඹගේ මාවත සහ ටොරින්ටන් මාවත නිවාස ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමටද නියමිතය.
මේ වනවිටත් නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ දෙමටගොඩ - මිහිඳුසෙන්පුර, ඔරුගොඩවත්ත-පුරදොර සෙවණ, බොරැල්ල-සිරිසර උයන, මාලිගාවත්ත-ලක්සෙත සෙවණ, බ්ලූමැන්ඩල්-සිරිසඳ සෙවණ වැනි නිවාස ව්‍යාපෘති 22 වැඩ අවසන්කර ඇති අතර ඒ යටතේ නිවාස ඒකක 13,814ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ.
මේ වනවිට රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවත් නිවාස ඒකක 786ක ඉදිකිරීම් කටයුතු විවිධ අදියරවල පවතී. එලෙස ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින්නේ 601 වත්ත හා කොළොන්නාව නිවාස ව්‍යාපෘති දෙකය.
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය අවසන්වූ පසුව ඉඩම් අක්කර 400ක් වාණිජ අරමුණු වෙනුවෙන් නිදහස් කෙරෙන බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා දැනටමත් ආසන්න වශයෙන් ඉඩම් අක්කර 116ක් නිදහස් කර තිබේ.
නගර සංවර්ධන සැලසුම් අරමුණු සපුරාලීම සඳහා පිළිගත හැකි ප්රමිතීන් සහිත නව නිවාස යෝජනා ක්‍රමවල මෙම පවුල් නැවත පදිංචි කිරීම, පිරිසිදු හා ප්‍රසන්න වාතාවරණයක් සහිත ලොව පිළිගත් නගරයක් බවට කොළඹ නගරය පත්කිරීම මෙම නාගරික පුනර්ජීවන වැඩ සටහනේ තවත් එක් අරමුණකි.
මෙවර අයවැයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට රුපියල් මිලියන 48,491ක මුදලක් වෙන්ව ඇත. එම සමස්ත මුදලින් රුපියල් මිලියන 43,740ක් සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් වෙන්කර ඇති අතර තවත් රුපියල් මිලියන 20,433ක් නාගරික සංවර්ධන වැඩසටහන් සදහා වෙන්ව ඇත.