"චීන නවීකරණය සහ ලෝකය යන්න තේමාව කරගත් ලන්ටින් සංසදය චීනයේ ෂැංහයි හිදී අද (21දා) ආරම්භ විය. මෙහි ප්‍රධාන දේශනය චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය මන්ත්‍රී Qin Gang මහතා විසින් සිදු කළේය. මෙම සංසදය ෂැංහයි හි පැවැත්වෙන පළමු වතාව ද මෙය වේ.
චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ෂැංහයි හි "ලෝක ශාලාවේ" පැවති "චීන නවීකරණය සහ ලෝකය" පිළිබඳ "ලන්ටින්" සංසදයට සුබ පැතුම් ලිපියක් එවා තිබුණි. නවීකරණය අවබෝධ කර ගැනීම නූතන යුගයේ සිටම චීන ජනතාවගේ අපේක්ෂාව බවත්, එය ලොව පුරා සිටින මිනිසුන්ගේ පොදු අපේක්ෂාව බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබුණි.
රටක් නවීකරණය කරා ගමන් කරන විට, එය නවීකරණයේ සාමාන්‍ය නීති අනුගමනය කරනවා පමණක් නොව, තමන්ගේම යථාර්ථයට අනුකූල විය යුතු අතර, එහි තමන්ටම ආවේණික ලක්ෂණ තිබිය යුතු බව ද ඔහු සඳහන් කර තිබුණි.
චීනයේ කොමියුනිස්ට් පක්ෂය රටේ සියලුම ජනවර්ගවලට අයත් ජනතාව ඒකරාශී කර නායකත්වය දරන බව ද ඔහු කියා සිටියි. දිගුකාලීන හා වෙහෙසකර ගවේෂණවලින් පසුව චීනයේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් සොයා ගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.
ශක්තිමත් රටක් සහ ජාතික ගොඩනැගීමක් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරන බවත්, චීනයටම ආවේණික වූ නවීකරණය හරහා පුනර්ජීවනය ලඟා කරගැනීම අපේක්ෂාව බවත් ඔහු කියයි. චීන මාදිලියේ නවීකරණයේ නව ජයග්‍රහණ සමඟින් ලෝක සංවර්ධනය සඳහා නව අවස්ථා ලබා දීමට, නවීකරණ මාර්ග සහ වඩා හොඳ සමාජ පද්ධති ගවේෂණය කිරීමට මානව වර්ගයාට නව ආධාර සැපයීමට සහ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු පවසයි" ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කිරීමෙන් පසු රාජ්‍ය මන්ත්‍රීවරයා පැවසුවේ නවීකරණය තුළින් ජනතාවට වඩා යහපත් රටක් ගොඩනැගීම චීනයේ අපේක්ෂාව බවයි.
චීන මහජන රාජ්‍යතාන්ත්‍රික සංගමය විසින් සංවිධානය කර ඇති මෙම සංසදය සඳහා විදේශ කටයුතු පිළිබඳ චීන මහජන ආයතනය සහ ෂැංහයි නාගරික මහජන රජය විසින් සම සත්කාරකත්වය දැක්වීය. රටවල් 80කට ආසන්න සංඛ්‍යාවක් සහ මාධ්‍ය ආයතන සහ තවත් ආයතන රැසක් සහභාගි වී සිටියහ.
එමෙන්ම රටවල් රැසක නියෝජිතයින් මෙහිදී අදහස් දැක්වීය. මෙය සැසි වාර 3කින් සමන්විත අතර, විශේෂ දිවා භෝජන සැසියක් ද පැවැත්වීය.
නවෝද්‍යා පවනි (චීනයේ ෂැංහයි සිට)
