නව ව්‍යවසායකයන් වෙනුවෙන් නව ණය වැඩසටහන් ලබන වසරේදී
නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව 25.11.2025 වන දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙවර අයවැයෙන් නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය ලබාදීම සඳහා රුපියල් මිලියන අසූ දහසක් වෙන්කර ඇති බවත් එම මුදල ඵලදායී ලෙස නව ව්‍යවසායකයින්ට ලබාදීම උදෙසා මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පැවසීය. එමෙන්ම මෙම ණය පහසුකම් කුමන අංශ සඳහා ලබාදෙන්නේ ද සහ අදාළ ණය ලබාදීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක්ද ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
තවද මෙරට සියලුම කර්මාන්තකරුවන්ගේ තොරතුරු එක පද්ධතියකට රැස් කිරීම සඳහා කර්මාන්තකරුවන් සඳහා වූ ජාතික දත්ත පද්ධතියක් ආරම්භ කර ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය. ඒ අනුව එම දත්ත පද්ධතියේ ලියාපදිංචිවීම සඳහා සියලුම ව්‍යවසායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කරන බවත් එම දත්ත පද්ධතියේ ලියාපදිංචිවීම ඔස්සේ එම ව්‍යවසායකයින්ට පහසුවෙන් අවශ්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව පවතින බව මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.
තවද ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වූ ශිල්පීන්ට ඇප රහිත ණය පහසුකම් ලබාදීම පිළිබඳවද කාරක සභාවේදී අදහස් පළ විය.
එමෙන්ම වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද එම කර්මාන්ත ශාලාවේ ප්‍රධානීහු කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව කර්මාන්ත ශාලාවේ පැවති අඩු පාඩු සකස් කර මෙතෙක් මාසිකව පවතින මෙට්‍රික් ටොන් 150-180 අතර නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 400 දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබී ඇති බව එම නිලධාරීහු අදහස් දක්වමින් පැවසූහ.
තවද මෙරට කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ජාතික උපදේශන මාලාව පිළිබඳවද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කරුණු ඉදිරිපත් කළේය. දැනට ව්‍යාකූල මට්ටමින් ක්‍රියාත්මක වන කැණීම් බලපත්‍ර ලබාදීම වඩාත් ක්‍රමවත්ව ලබාදීම අරමුණු කරගනිමින් ලබන ජනවාරි මාසයේදී එම උපදේශන මාලාව හඳුන්වා දෙන බව ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මෙම කාරක සභා රැස්වීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

