උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
නව වසර උදාවත් සමඟ අද (01) පෙරවරුවේ මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා පළමුව දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
"ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් මේ වන විට පේන්න තියෙනවා. උද්ධමනය සාර්ථක අයුරින් පාලනය වෙමින් තිබෙනවා. එමගින් පොලී අනුපාතය පහළ ගිය විට ජනතාව මේ වන විට විඳින අසීරු කම් වලින් මිදී සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවෙනවා.
මේ වසරේ පළමු කාර්තුව වන විට උද්ධමනය තවත් පහළ යනු ඇති. ඉකුත් වසරේදී පැවැති ආර්ථික අපහසුතා වලින් මිදී රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක් කරා රැගෙන ඒමට මේ වසරේ දී අපේක්ෂා කරනවා."
ෂේන් සෙනෙවිරත්න