ණය නොගෙවා සිටීමේ තීරණය මහ බැංකු අධිපතිවරයා ගත් බවට අසත්‍ය ප්‍රකාශ කරන බවත් එම තීරණය ගත්තේ තමන් සියලු දෙනා සමග කථා කිරීමෙන් බවත් හිටපු මුදල් ඇමති, වත්මන් විදෙස් ඇමති අලි සබ්රි මහතා පාර් ලිමේන්තුවේදී පැවැසීය.
එසේම කිසිවෙකුට හෝ මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අලි සබ්රි මහතා පැවැසීය.
"ණය ගෙවන එක ඉතාම වැදගත්. ඒත් ඔබතුමාගේ දරුවෝ කන්න නැතිව ගෙදරට වෙලා ඉන්නවනම්, බෙහෙත් නැතිව රෝහල් ගත වෙලා ඉන්නවනම්, හෙට දවසේ ප්‍රවාහනය කර ගන්න බැරිනම්,තමන්ගේ මුළු මුදලම එකතු කරලා ගිහින් ණය ගෙවනවද? දරුවන්ට කන්න දෙනවද? කියන තීරණය ගන්න සිදුවුණා.
ඒ තීරණය වෙන කාටවත් පටවන්න එපා.සියලු දෙනත් එක්ක කථා කරලා ඒ තිරණය ගත්තා. වරදක් තියෙනවානම් පැනලා දුවන්නේ නෑ. මම එතකොට හිටපු මුදල් ඇමතිතුමා. මට ඒ යෝජනාව ආවේ මහ බැංකුවෙන්. මම මහ බැංකුවත් එක්ක කථා කළා. මුදල් අමාත්‍ය නිලධාරීන් එක්ක කථා කළා, ජනපතිත් එක්ක දෙපාරක් කථා කළා. විශේෂ කමිටුවක් පත්කරලා තිබුණා ඒකත් එක්ක සාකච්ඡා කළා, ජාත්‍යන්තර විශේෂඥයින් එක්කත් කථා කළා, හර් ෂ ද සිල්වා මැතුමත් එක්කත් කළා.
එකයි කළේ අපි තීරණය කළේ නෑ තිබුණ සල්ලි නොගෙවා ඉන්න. සල්ලි නෑ ගෙවන්න. ඇමෙරිකානු ඩොලර් මිලියන 203ක් ගෙවන්න තිබුණා. භාණ්ඩාගාරයේ තියෙන්නේ 37000යි.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් තියෙනවා ගෙවන්න. ඒවා ගෙවනවද? ණය ගෙවනවනද? මම සාකච්ඡා කරලා ඒ තීරණය ගත්තා. නන්දලාල් වීරසිංහ මහත්තයා ඒ තීරණය වෙනුවෙන් උපදෙස් දුන්නා. කාට හරි එතුමව යවන්න ඕන නම් මම යන්නම්.
එතුමා ගත්ත තීන්දු තීරණ හේතුවෙන් අද ජනතාවට ප්රතිලාභ ලැබෙනවා කියන එක මම බය නැතිව කියනවා.බොරුවට මිනිස්සු පස්සේ යන්න එපා."