නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම නීතිපති තනතුර සඳහා නිර්දේශ කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. නීතිපති තනතුර සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් තුනක් ව්‍යවස්ථාදායක සභාවට යොමුකළ බවත් එයින් එක් නමක් නිර්දේශ කරන ලෙස ජනපතිවරයාට දැන්වූ විට ඔහු ජයන්ත ජයසූරිය මහතාගේ නම නිර්දේශ කළ බවත් සභානායකවරයා සඳහන් කළේය.
පොලිස්පති තනතුර සඳහාද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් තුනක් යොමුකළ බවත් ඒ පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ පැවැති ඡන්දයෙන් පොලිස්පති ලෙස පූජිත ජයසුන්දර මහතා තේරී පත්වූ බවත් ඔහු සඳහන් කළේය.
එසේම ප්‍රීති පද්මන් ශුරසේන මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සඳහා නිර්දේශ කළේද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.