වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩ සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවි කරුණානායක, ජාතික සංහිඳියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරු අද (21දා) උදෑසන එහි පැමිණයහ.
අනතුරුව පිටතට පැමිණ අදහස් දැක්වු මැති ඇමතිවරුන් පිරිස සඳහන් කළේ 'නොකළ වැරදි, චෝදනාපත්රයට ඇතුළත් කර ඒවා අධිකරණය තුළ ඔප්පු කර තමන් වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණු' බවට ඥානසාර හිමි පෙන්වා දුන් බවයි.
අධිකරණ ශාලාව තුළ මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවූ කතාබහ ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරන බවටත්, එය නරඹා සත්‍යය තේරුම්ගත හැකි බවටත් උන්වහන්සේ පැවසූ බවද ඔවුහු සඳහන් කළහ.