ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක හා ශ්‍රී කළ්‍යාණවංශ මහා නිකායේ මහානායක ධූරන්ධර , රාජගිරිය කලපළුවාව ශ්‍රී ගෝතම තපෝවනය හා තදීය ශාඛාවන් හා ප්‍රධාන අනුශාසක, කම්මට්ඨානාචාර්ය, ශ්රීකල්යාණවංශාවතංස,අමරපුර ගණපාමොක්ඛාචරිය, අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, අතිපූජණීය දොඩම්පහල ශ්‍රී චන්දසිරි අභිධාන අස්මද් උපාධ්යාචාර්ය උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රි ජයවර්ධන පුර රෝහලයේ දි අද 2023.05.16 දින අපවත් වි වදාළහ.
අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ 1939.12.20 දින දකුණු සිරිලක දොඩම්පහළ දී උපත ලදහ. එදිරිවීර පටබැඳිගේ සරනේලිස් සිල්වා සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා දම්පතීහු දෙමාපියෝ වූහ. දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා 1950.11.25 දින කුඩාවැල්ල වාළුකාරාමයේදී උතුම් පැවිදිබිමට පත්විය. මාතර වීරබා පිරිවෙන සහ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනින් අධ්‍යාපනය ලබා 1962.06.17 දින මාතර නිල්වළා උදකුක්ඛේප සීමාමාලකයේදී ශ්‍රී කල්‍යාණිවංශික සංඝයා වෙතින් අධිසිල් උප සම්පදාවලැබූහ.
පළමු වස සඳහා සිය අනුගාමිකයන් වහන්සේ ලෙස කුඩාවැල්ලේ වංගීස නා හිමිපාණන් සමඟ 1982 වසරේ අපවත්වන තෙක්ම එතුමන්වහන්සේ ගුරුතැන්හි තබාගෙන භාවනා පුහුණුව ලබමින් වනවාසී සම්ප්රදාය හා විදර්ශනා භාවනාව පැවිදි ජීවිතයේ ඵල නෙළීමට ඇති වඩාත් උචිත මාවත ලෙස හඳුනා ගනිමින් ප්‍රායෝගිකව එය අත්විඳිමින් එම ප්රතිපත්තීන් අනුගමනය කිරීමට සුදුසු ස්ථානයන් ද බිහිකිරීමට සිය දායකත්වය සැපවිම සම්බුදු ශාසනයේ දියුණුවට මහත් පිටුහලක් විය.
උන්වහන්සේ අනුශාසකත්වය දරන ආයතන අතර ගෝතම තපෝවනය - කලපළුවාව, මුල්ලේරියාව නව නගරය, මහනුවර උඩවත්තකැළේ ශ්‍රී දළදා තපෝවනය, කෑගල්ල අභයභූමි තපෝවනය, මිහින්තලේ කළුදිය පොකුණ අරහන්ත තපෝවනය, පදවිය- දෙවියන්ගේ කන්ද තපෝවනය, මාතික මාතා මධ්‍යස්ථානය කතරගම, සුමනාරාමය- මස්කෙළිය, ජලනන්දනාරාමය, රිකාල්ටන් ජනපදය - මස්කෙළිය, සුදර්ශනාරාමය මිලිද්දුව, ගාල්ල, වාළුකාරාමය, ආදි ආයතන රැසක් බිහි අනුශාසනා කිරිම ජාතික හා ආගමික ශාසනික මෙහෙවරයේ එක්දිසාවකි.
තපෝවනය මූලස්ථානයේ මාතික මාතා සමිතිය සහ කුමාර කාශ්‍යප ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ යාවජීව අනුශාසකත්වය දරති. කො/ ශ්‍රී වංගීස මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි ධුරය උසුලනු ලැබේ.1989 වසරේදී අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක තනතුර ලැබීමද 1996 මාර්තු 31 වන දින දොඩන්දූව නිකාය මූලස්ථානයේදී මහානායක තනතුර ලැබීමද සුවිශේෂිය.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති පදවියට පත්, මුල්ලේරියාව නවනගරය, කලපළුවාවේ ගෝතම තපෝවනයේ අනුශාසක, අමරපුර කල්‍යාණිවංශ පාර්ශවයේ මහා නායක, කම්මට්ඨානාචරිය, දොඩම්පහල චන්දසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායකඅග්ගමහා පණ්ඩිත, ග්රන්ථ විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන් වහන්සේ විසින් සිදු විය.
අසරණකමින් හා දරිද්‍රතාවෙන් හෙම්බත්වූවන් සොයා ඔවුන් වෙත ගොස් හැකි පමණින් උපකාර කෙරෙති. විටෙක පිළිකා රෝහලේය. විටෙක වික්ටෝරියා විකලාංග රෝහලේය. විටෙක එවක යුද්ධයෙන් අවතැන්වූවන්ට පිළිසරණට අනාරක්ෂිත ගම්මානවලය. රටේ සාමය ඇති වූ වහාම යුද්ධයෙන් අසරණ වූ සිහල, දමිළ හා මුස්ලිම් පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් පොත්, බෑග්, ඇඳුම්, පාසල් උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය ගෙන ඔවුන්වෙත ගොස් ඒවා පිරිනමා මනස සුවපත් කරන්නට තරම් කාරුණික වූහ. එසේම 2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත් ජනතාව දෙස බැලුවේ තමන්ට සිදුවූ විපතක් සේය. එහිලා ඔවුනගේ ආධ්‍යාත්මික සහනය වෙනුවෙන් කළ මෙහෙවර කිව නොහැකි තරම්ය. විදේශ බෞද්ධ අබෞද්ධ ජනතාවගේ සහාය ඇතිව සුනාමියෙන් හානියට පත් විහාර, පුස්තකාල, සංඝාවාස, ගොඩනැගිලි , ඉදිකිරීම් ,රෝහල් උපකරණ බෙදාදීම්, ත්‍රිපිටක ග්රන්ථ , අටුවා පොත්, ජාතක පොත් ආදිය දහස් ගණනින් බෙදා දැවැන්ත ශාසනික මෙහෙවරක යෙදුනේ සිය හදවතේ පවතින බෝධිසත්ව ගුණ ප්‍රභාව පෙහෙළි කරමිනි.
තපෝවන සංකල්පය ක්‍රියාවට නංවමින් දෙස් - විදෙස්හි ගිහි – පැවිදි විශාල පිරිසකට භාවනාව සඳහා මඟ පෙන්වූ කුඩාවැල්ලේ වංගීස නාහිමිපාණන්වහන්සේගේ මූලිකත්වයෙන් ඇමරිකන් ජාතික හමුදා නිළධාරියෙක් ද ලංකාවට පැමිණ යෝගාවචර රාහුල නමින් වංගීස නාහිමියන් වෙතින් පැවිදිව ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ. නිකායට අයත් ලංකාවේ විවිධ ප්‍රදේශවල පමණක් නොව විදේශ රටවල් කිහිපයක්ද ආශ්‍රිතව ඇති නිකායික භාවනා මධ්‍යස්ථාන ද වර්තමානයෙහි භික්ෂූ ආකල්ප හා වත්පිළිවෙත් දියුණුයෙහිලා බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට පත්ව සමාජය ගත වු එක් ස්ථානවේ.
1996 වසරේ සිට ශ්‍රී කල්‍යාණි වංශ නිකායෙහි මහානායක ධුරය හොබවනු ලබන අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක හිමිපාණන් වහන්සේ දිවයින පුරා විහිදී ඇති තපෝවන ශාඛා මධ්‍යස්ථානයන්හි පැවිදි සහෝදර හා ශිෂ්‍ය පිරිස ආගමික හා ශාසනික සේවාවන්හි මෙහෙයවමින් ස්වනිකායෙහි අභිවෘද්ධිය පිණිස උන්වහන්සේගේ ක්‍රියාශීලි හා දූරදර්ශි මෙහෙවර අතිමහත්ය.
2009 වර්ෂයේදී සමස්ත ලංකා අමරපුර සංඝ සභාවෙහි උප සභාපති ධුරය උන්වහන්සේ වෙත හිමිවීම ද මෙම නිකායට ලද කීර්තියකි. ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙස් විදෙස් වශයෙන්ද ආගමික හා සාමාජික වශයෙන්ද නිරතව සිටින සියලු භික්ෂූන් වහන්සේ වෙත වර්තමාන මහානායක හිමිපාණන් වහන්සේ වෙතින් ලැබෙන ආශිර්වාදය ද අපමණ විය. එමෙන්ම අප ශ්‍රී කල්‍යාණිවංශ නිකාය සමස්ත සංඝ සමාජයෙහි ගෞරවයට පාත්රව ඇති නිසාම 2013.02.23 දින රැස් වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කොටස් 22 කින් යුත් අමරපුර මහා සංඝ සභාව නිතරගයෙන් උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපතිත්වයට ද 2021 දි හිටපු ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, කොටුගොට ධම්මාවාස මහ නාහිමියන් අපවත් විමෙන් පසුව අප නාහිමියන් එම උත්තරතර නායක පදවිය හිමි විය.
අපවත් වි වදළා ශ්‍රි ලංකා අමරපුර මහානිකායේ උත්තරිතර මහානයක මහාමහෝපාධ්යය, අමරපුර ශ්‍රි කල්‍යාණිවංස නිකායේ මහානයක ධුරන්ධර වංගීසවංසාලංකාර විපස්සනා කම්මට්ඨාචරිය කල්‍යාණිවංස කිර්ති ශ්‍රි අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානයක මාහිමියන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා.
