රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්නේ නම් මූල්‍ය ක්ෂේත්රය කඩා නොවැටී ශක්තිමත් කිරීමට අරමුදලක් අවශ්‍ය වන බවත්, එය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවර්ධන බැංකුවකින් මෙරටට ලබා ගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙම අරමුදල පිහිටුවීම සඳහා ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය වන බව අද (14දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේ.
"ලොකු ගැටලු කිහිපයකට අපිට දැන් මුහුණ දෙන්න සිදුවෙනවා. මූලික වශයෙන් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන කතා කරන්නම වෙනවා. අපි මේක තාක්ෂණිකව බලමු දේශපාලන කෝනයක් ගන්නේ නැතිව. ඔවුන් කියනවා ප්‍රතිව්‍යුහගත කිරීමක් නෙවෙයි ප්‍රශස්තකරණයක් කරන්නේ කියලා. මොකක්ද මේ දෙකේ වෙනස? ඒ කියන්නේ මේකේ පැති දෙකක් තිබෙනවා නම්, කොහොමද සාධාරණව මේක බේර ගන්නේ කියන එක.
මේකේ තියෙනවා යම්කිසි දෙයක් කරනකොට ඒ දේ නිසා බලාපොරොත්තු වෙන්නේ අපි හිතමු රජයේ ආදායම වැඩි කර ගන්න බදු වැඩි කරනවා කියලා. බදු වැඩිකරගෙන යනකොට යම්කිසි අවස්ථාවක් දක්වා රජයට ලැබෙන ආදායම වැඩි වෙනවා. ඒත් ඊට වඩා බදු වැඩි කළෝතින් රජයට ලැබෙන ආදායම අඩු වෙනවා.
මම දැක්කා පත්තර වල කියලා තියෙනවා බියර් වල, අරක්කු වල බද්ධ දැන් අඩු කරන්න වෙනවා කියලා. ඇයි එහෙම කියන්නේ? රජය බලාපොරොත්තු වුණු ආදායම ලැබිලා නැති නිසා. ඒ අනුව දේශීය ණය ප්රශස්තකරණයේත් මේන්න මේ ලැෆර් කර්ව් එකක් තියෙනවා. අපිට ආණ්ඩුව දිගින් දිගටම කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නෑ කියලා. එත් දැන් අපි කවුරුත් දන්නවා ප්‍රතිව්‍යූහගත කිරීමකට, නැත්නම් ප්‍රශස්තකරණයකට ආණ්ඩුව යනවා.
අපි වහාම රජයට කියනවා යම්කිසි විදියකට මේ ප්‍රතිව්‍යුහගත කරනවා නම් මූල්‍ය ස්ථාවරත්වය නිසියාකාරව තියාගෙන යන්න අපට අවශ්‍ය වෙනවා මූල්‍ය ක්ෂේත්රය කඩා නොවැටෙන්න, ශක්තිමත් කිරීම සඳහා අරමුදලක්. ඒක අපිට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධ බැංකුවෙන් වගේ ජාත්‍යන්තර සංවර්ධන බැංකුවකින් අපිට ලබා ගන්න පුළුවන්. ඩොලර් බිලියනයකට වඩා අවශ්‍යවෙයි මේ දේට. නමුත් ඒ දේ කළ යුතුයි කියන දේ තමයි අපේ මතය."