2025.09.30 වන විට අපේක්ෂිත බදු ආදායම රු. මිලියන 1,610,599 ක් වූ බවත් ඒ අනුව රු. මිලියන 1,641,997 ක් උපයා ඇති බවත් (සියයට 102ක ප්රතිශතයක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 2025 වසරේ සමස්ත බදු ආදායම් ඉලක්කය වන රු. මිලියන 2,195,220 ක ප්රමාණයෙන් මේ වන විට රු. මිලියන 1,641,997ක් සපුරා ඇති බවත් එය සියයට 75ක ප්රතිශතයක් බවත් මෙහිදී අනාවරණය විය.
පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී විජේසිරි බස්නායක මහතාගේ ප්රධානත්වයෙන් 2025.10.08 දින පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ බදු අදායම් ඉලක්ක සහ ආදායම් වර්ධනය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එසේම ඩිජිටල්කරණය ඇතුළු බදු ආදායම් වර්ධනය කර ගැනීම සඳහා පවතින සැලසුම් සහ අභියෝග ද බදු කළමනාකරණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් අපේක්ෂා කරන ප්රතිසංස්කරණවලට අදාළ යෝජනා ද කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ක්රම සහ විධි පිළිබඳ කාරක සභාව නියෝජනය කරන මන්ත්රීවරු පිරිසක් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්රනාන්දු මහත්මිය ඇතුළු ජේෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභාවට එක්ව සිටියහ.