ශ්‍රී ලංකාවේ පොල්තෙල් අවශ්‍යතාවයෙන් 10% ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළයි බවත් ඒ අනුව දේශීය පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීමට ක්‍රමවේදයක් අවශ්‍ය බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ශ්‍රී ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නිෂ්පාදන ආයතන හා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් විසින් බවත් එසේ නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය පිළිබදව කිසිදු සොයා බැලීමක් සිදු නොකරන බව මාධ්‍ය වාර්තා කර ඇති බවත් එම ව්‍යාපාරය පවසයි.
එය ඉතාම බරපතල තත්වයක් බවත් පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී මිනිස් ශරීරයට අහිතකර ඇෆ්ලටොක්සීන් (Aflatoxin) සහ වෙනත් අහිතකර සංඝටක පොල්තෙල්වල අඩංගුවිය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සාමාන්‍යයෙන් ආහාර නිෂ්පාදනය කිරීමේදී එහි ප්‍රමිතිය පිළිබදව පරීක්ෂා කිරීම අනිවාර්යෙන්ම සිදු කරනු ලබන ක්‍රියාවලියක් බවත් ප්‍රමිති පරීක්ෂාවකින් තොරව කිසිදු ආහාරයක් රටතුළට ආනයනය කිරීමට නොහැකි වන සේ නීති සෑදීමට ලෝකයේ සෑම රටක්ම කටයුතු කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවද මෙරටට ආනයනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය අවස්ථා කිහිපයකදී පරීක්ෂා කරන බවත් එසේ තිබියදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය සොයා නොබැලීම මෙරට පොල්තෙල් පාරිභෝගිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී වුවද ප්‍රමිතිය සොයා බලද්දී මිනිස් පරිභෝජනය සදහා පොල් තෙල් නිෂ්පාදනය කිරීමේදී එහි ප්‍රමිතිය පිළිබදව සොයා බැලීමට කටයුතු නොකිරීම පාරිභෝගික අයිතිය කඩකිරීමක් බවත් ඒ අනුව රජයෙන් හා වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින්නේ දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකසන ලෙස බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.